වර්තමාන දියුණු තාක්ෂණික ලෝකය තුළ, අන්තර්ජාලය යන වදන අපට බොහෝ හුරුපුරුදු වූවාට සැබැවින්ම අන්තර්ජාලය භාවිත කරන්නා වූ ජන සංඛ්‍යාව එතරම් සුවිශාල නොවේ.දළ වශයෙන් ගත්විට වත්මන් ලෝක ජනගහනයෙන් අන්තර්ජාල සබඳතා ඇත්තේ තුනෙන් එකක පිරිසකට පමණි. වෙනත් ආකාරයකට කිවහොත් ලෝක ජනතාවගෙන් සියයට හැත්තෑවකට ආසන්න පිරිසකට අන්තර්ජාලය සමග සම්බන්ධ වීමට හැකියාවක් ඇත්තේ නැත. මෙතරම් සුවිශාල පිරිසකට අන්තර්ජාලය සමග සම්බන්ධ වීමට නොහැකි වී තිබෙන්නේ ඒ සඳහා ඔවුන් තුළ ඇති අකමැත්තක් හෝ නොදැනුවත්කමක් හෝ නිසා නොව, අන්තර්ජාල සබඳතාවන් ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් මේ ජනතාව ජීවත්වන ප්‍රදේශවල නොමැති වීම හේතුවෙනි.
එක් අතකට ලෝකයේ දියුණුම රටක් ගත්තද සෑම පළාතකටම එක සමානව අන්තර්ජාල සබඳතා ව්‍යාප්ත වී ඇතැයි පැවැසිය නොහැක. මක්නිසාද යත් අන්තර්ජාල සබඳතාවක් ලබාදීමේදී වුව, භූ විෂමතා ආදිය ප්‍රබල වශයෙන් බලපෑම් සිදුකරන බැවිනි. මේ හේතුව නිසා ලෝකය පුරාවටම අන්තර්ජාල සේවා ව්‍යාප්ත කිරීම අතිශය දුෂ්කර කර්තව්‍යයක් වී තිබේ. තවත් ආකාරයකින් ගත් විට රටක් පුරා අන්තර්ජාල සේවා සැපයීමද විශාල වියදමක් යන වැඩකි. බොහෝ රටවල්වල ආණ්ඩුවලට මෙවැනි වැඩ සඳහා වියදම් කිරීමට මුදල් ඇත්තේ නැත. එසේම තවත් රටවල්වල ආණ්ඩු කරවන ඇත්තෝ තම ජනතාවට අන්තර්ජාල සේවා ලබාදීමට ඇති අකමැත්ත නිසා ඊට තහංචි පනවාගෙන සිටිති.මේ ආකාරයේ නොයෙක් කරුණු කාරණා නිසා, ලෝකය පුරා එක සමානව අන්තර්ජාලය පැතිරවීම අපහසු වැඩක් බවට පත්ව තිබේ. නමුත් අන්තර්ජාලය යනු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “ලෝක ව්‍යාප්ත ජාලයක්” විය යුතු බව අදහන ජාත්‍යන්තර සංවිධාන සහ සමාගම් පෙර සඳහන් කළ අන්තර්ජාලය ව්‍යාප්ත වීමට ඇතිව තිබෙන බාධාවන් මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටී.අන්තර්ජාලය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන අන්තර්ජාතික ආයතනයක් වන “Google” ආයතනය, ලෝකයේ සෑම තැනකටම සමානව අන්තර්ජාල සේවා ලබාදීමේ යහපත් අරමුණෙන් ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ “Google Loon” යනුවෙනි.අන්තර්ජාල සබඳතා ලබාදීමේදී මතෛක් අනුගමනය කළ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් පරිබාහිරව අඩු වියදමකින් වැඩි ප්‍රදේශයක් ආවරණය වෙන පරිදි වඩා වැඩි වේගයකින් යුතු අන්තර්ජාල සබඳතා ලබාදීම “Google Loon” ව්‍යාපෘතියේ මූලික අරමුණයි.“Google Loon” ව්‍යාපෘතියේදී ක්‍රියාවට නංවනු ලබන්නේ අලුත්ම තාක්ෂණික ක්රමවේදයකි. එනම් මෙහිදී අන්තර්ජාල සබඳතා ලබා දෙන්නේ ඉහළ අහසේ පිහිටුවනු ලබන “බැලුන් ජාලයක්” හරහාය. අන්තර්ජාල සබඳතා ලබා දිය යුතු ප්‍රදේශයට ඉහළ අහසේ පොළෝ මට්ටමේ සිට කිලෝමීටර් 18-27 අතර උසකින් විශේෂිත සම්ප්‍රේෂණ උපාංග සහිත බැලුන් සමූහයක් රඳවනු ලැබේ. ඉහළ අවකාශයේ පවත්නා නොයෙක් කාලගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි සකසා ඇති මේ බැලුනවල පිහිටීම ඊට සම්බන්ධ පරිගණක උපාංගවල පිහිටුවා ඇති මෘදුකාංග මගින් පාලනය කෙරේ. එමෙන්ම මෙම බැලුන් පිහිටුවනු ලබන්නේ සාමාන්‍ය ගුවන් ගමන් සිදු කෙරෙන මට්ටමට වඩා දෙගුණයක් පමණ වූ උසකින් නිසා ගුවන් සේවාවන්වලට බාධාවක් සිදුවන්නේද නැත.මෙසේ ඉහළ අහසේ පිහිටුවන “Google Loon” බැලුන් නිර්මාණය කර තිබෙන්නේ polythyleneවලිනි. සම්පූර්ණයෙන් දිගහැරුණු විට පළලින් මීටර් 15ක් සහ උසින් මීටර් 12ක් පමණ වන මේ තුළ හිරු කිරණ භාවිතයෙන් බලශක්තිය නිපදවාගන්නා ලිතියම් අයන් බැටරියකින් යුතු බලශක්ති ඒකකයක් සහ සම්ප්‍රේෂණ උපාංග කට්ටලයක් අන්තර්ගත වේ. මෙමසම්ප්රේෂණ උපාංග මගින් “Google Loon” බැලුන්වලට එකිනෙකා සමග තම පිහිටීම පිළිබඳව තොරතුරු හුවමාරු කරගැනීමටත් පොළව වෙත අන්තර්ජාල සබඳතා ලබාදීමටත් හැකියාව ඇත. මේ සියලු උපාංග සම්බන්ධ කළ විට එක් බැලුනයකින් කිලෝග්‍රෑම් 10ක පමණ බරක් දරාගෙන සිටිනු ඇත.ඉහළ අවකාශයේ නිසි පරිදි රඳවනු ලැබූ “Google Loon” බැලුනයන් මගින් කිලෝමීටර් 40ක විෂ්කම්භයක් ඇති භූමි ප්‍රමාණයකට කිසිදු අවහිරයකින් තොරව LTE (Long Term Evolution) සංඥා මගින් අන්තර්ජාල සබඳතා ලබාදීමට හැකියාව ලැබෙතැයි ගණනය කර තිබේ. Loon ව්‍යාපෘතියේදී සම්ප්‍රේෂණය සඳහා භාවිතයට ගනු ලබන්නේ 2.4 GHz-5.8 GHz අතර පරාසයේ සංඛ්‍යාතයන් නිසා ඒ වෙනුවෙන් විශේෂිත බලපත්‍ර ලබා ගැනීමක් අවශ්‍ය වන්නේද නැත.ඉහළ අහසේ පිහිටුවනු ලබන Loon බැලුන ජාලය අන්තර්ජාල සේවා සැපයීමේදී ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාල සබඳතා ලබාගන්නා ජනතාව සහ අන්තර්ජාල සේවා සපයනු ලබන දුරකථන සේවා සමාගම් අතර අතරමැදියකු වශයෙනි. අන්තර්ජාල සේවා සපයන දුරකථන සමාගම්වලින් “Google Loon” බැලූන වෙත ලබාගන්නා සංඥා, ඉන්පසුව බැලුනයේ සිට අන්තර්ජාල සබඳතා ඇති ජනතාව වෙත ලබාදෙනු ලැබේ. බැලූ බැල්මට අවබෝධ වන ආකාරයටම මෙහිදී සිදුවන්නේ “Google Loon” බැලුන හරහා සංඥා හුවමාරුවීමක් පමණක් වුවද ඉන් අත්වන වාසි බොහෝමයකි. මේ අනේයාන්‍ය සම්බන්ධතාව නිසා දුරකථන සමාගම්වලට තම ආවරණ කලාපයන් විශාල කිරීමට අමුතුවෙන් සම්ප්‍රේෂණ කුලුනු ඉදිකරමින් කාලය සහ ධනය වැය කිරීමට සිදුවන්නේද නැත. එමෙන්ම දුරකථන ජාලවල දත්ත සඳහා වෙන් වන සංඛ්‍යාත තරමක් දුරට ඉතිරිවන බැවින් අනවශ්‍ය පරිදි දුරකථන ජාල කාර්ය බහුලවීමද වැළකෙයි. අන්තර්ජාල සබඳතා ලබාගන්නා සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් බැලූවිට අඩු මිලකට වේගවත් අන්තර්ජාල ප්‍රවේශයක් හිමිවීම වාසියකි. සියල්ලටම වඩා වැදගත් ප්‍රධානතම වාසිය වන්නේ සමස්ත රටක් වුවද ආවරණය වන පරිදි අන්තර්ජාල සේවා ලබාදීමට හැකි වීමයි.මේ වන විට ශ්‍රී ලංකාවටද පැමිණ ඇති “Google Loon” ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කෙරුණේ 2013 ජුනි 14 වැනිදා නවසීලන්තයේදීය. “Loon” ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ Googleසමාගමට අයත් Google (x) ඒකකය මගිනි. සාමාන්‍යයෙන් Google සමාගම විසින් සිදුකරන නව නිපැයුම් තාක්ෂණිකපර්යේෂණ ආදිය සිදුකෙරෙන්නේ මේ Google (x) ඒකකය හරහාය.එකවර Loon බැලුන 30ක් යොදාගෙන නවසීලන්තයේදී සිදුකළ මූලික පරීක්ෂණය සාර්ථක වූ අතර නවසීලන්තයේ Leeston නගරයේ ගොවියෙකු වූ charles Nimmo, මේ හරහා අන්තර්ජාල සබඳතාව ලබා ගනිමින් Google Loon හරහා අන්තර්ජාල ප්‍රවේශය ලබාගත් පළමු පුරවැසියා බවට පත්විය. තවදුරටත් පර්යේෂණ සිදුකළLoonව්‍යාපෘති කණ්ඩායම, ඉතිහාසයේ කිසිම දිනක අන්තර්ජාල සබඳතාවක් නොතිබුණු බ්‍රසීලයේ ග්‍රාමීය පාසලකට අන්තර්ජාල පහසුකම් ලබා දීමට සමත්විය.ලෝකවාසී සැමට අන්තර්ජාල පහසුකම් ලබාදීමට කටයුතු සකස් කරමින් සිටින සියලුම පාර්ශ්වයන්ගේ අනුමැතිය සහ ප්‍රසාදය Google Loon ව්‍යාපෘතියට ලැබි තිබුණද විවිධාකාර මතවාදයන් අදහන ඇතැම් පිරිස් Google Loon දෙසද ‘වපර ඇහෙන්’ බලන බැව් රහසක් නොවේ.Loonව්‍යාපෘතිය යටතේ ඉහළ අහසේ රඳවනු ලබන බැලුන හදිසියේ පොළවට කඩා වැටීමෙන් හෝ ගුවන් යානා සමග ගැටීමෙන් අනතුරු සිදුවීමට ඉඩ ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.පරීක්ෂණ අවස්ථාවේදී බැලුන කිහිපයක් කඩා වැටීමද මෙවැනි මතවාදයන් පැතිරීමට හේතු සාධක වී තිබේ. 2014 ජුනි මාසයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් නගරාශ්‍රිත විදුලි රැහැන් පද්ධතියකට බැලුනයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබේ. ඒ වර්ෂයේම නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශයකට කඩා වැටී තිබුණු බැලූනයක කොටස් හමුවී තිබුණි. ආසන්නතම සිදුවීම වශයෙන් වාර්තා වන්නේ 2015 අප්‍රේල් මාසයේ මිසුරි නගරයට බැලූනයක් කඩා වැටීමයි. මේ එකදු සිදුවීමකින්වත් විශාල හානියක් සිදුවී නැති අතර ඇතැම් පුද්ගලයන් තුළ Loon ව්‍යාපෘතිය පිළිබඳව සැක පහළ වීමට නම් එය හේතු වී තිබේ. කෙසේ වුවද ස්වාධීන තාක්ෂණික විශේෂඥයන් පවසන්නේ විශාල ව්‍යාපෘතියක පර්යේෂණ කටයුතු සිදු කිරීමේදී මෙවන් අනතුරු සිදුවීමට ඉඩකඩ ඇති බවයි.එමෙන්ම ඇතැමුන් පවසන ආකාරයට Loon ව්‍යාපෘතිය හරහා කිසියම් රටක ජනතාව භාවිත කරන අන්තර්ජාල තොරතුරුgoogle ආයතනය විසින් ලබාගනිතැයි පැවැසීම තර්කානුකූල නොවේ. මක්නිසාද යත් Loon ව්‍යාපෘතිය යම් රටක ක්‍රියාත්මක වන්නේ එම රටේ වගකිවයුතු ආයතන සහ google ආයතනය අතර ඇතිවන එකඟතාවක් මත අදාළ රටේ තාක්ෂණික ආයතනවල නියාමනය මත බැවිනි.කෙසේ වුවද මේ වන විට “Google Loon” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වන චමත් පලිහපිටිය මහතාගේ මෙහෙයවීමෙන් මුළු ලංකාවම ආවරණය වන පරිදි Loon ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට google ආයතනය එකඟවී ඇති අතර, ඒ සඳහා අදාළ ගිවිසුම් පසුගිය ජූලි 28 වැනිදා මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණායතනය සහ google (x) ආයතනයේ උප සභාපති මෙන්ම Loon ව්‍යාපෘතියේ ප්‍රධානී Mike Cassidy විසින් අත්සන් තබනු ලැබිය.මේ අනුව 2016 මාර්තු මාසය වන විට සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදිLoon ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇත. ඒ සමගම සමස්ත රටම ආවරණය වන පරිදි “Google Loon” ව්‍යාපෘතිය හරහා අන්තර්ජාල සේවා ලබාගන්නා ලෝකයේ පළමු රට බවටද ශ්‍රී ලංකාව පත්වෙනු ඇත.සමස්ත ලෝක ජනතාවටම අන්තර්ජාල සබඳතා ලබාදීමේ අරමුණෙන් වැඩ කටයුතු කරන්නේ google ආයතනය පමණක් නොවේ. ලෝ ප්‍රකට ෆේස්බුක් සමාගමද ඇමෙරිකාවේ Outernet සමාගමද මෙසේ ලෝකය පුරාම අන්තර්ජාලය පැතිරවීමේ අරමුණෙන් වැඩ කරගෙන යන ප්‍රධාන සමාගම් දෙකකි.ඒ අතරින් Facebook සමාගම ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන සිටින වැඩසටහන යම් ආකාරයකින් “Google Loon” වැඩසටහනට සමාන යැයි කිව හැකි ෆේස්බුක් සමාගම ලෝකයේ දුෂ්කර ප්‍රදේශවලට අන්තර්ජාල සබඳතා ලබා දීමට අදහස් කරන්නේ සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන ඉහළ අහසේ රඳවා පවතින නියමුවන් රහිත ගුවන් යානා හරහාය. අභ්‍යවකාශය හරහා එන හිරු එළිය පොළවට පතිතවන ආකාරයටම “දත්ත ධාරා” වශයෙන් ඉහළ අහසේ සිට අන්තර්ජාල සබඳතා පොළොවට ලබාදීමට මෙමගින් හැකිවනු ඇත. ෆේස්බුක් සමාගමේ ප්‍රධානී මාක් සූකර්බර්ග්ගේ අදහසක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ගුවන් යානාවක්ද නිපදවා ඇති බව පසුගියදා ෆේස්බුක් සමාගම අනාවරණය කරන ලදී.Outernet සමාගම විසින් අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නේ චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගෙන ක්‍රියාත්මක වැඩසටහනකිනි. අන්තර්ජාලයේ ඇති දත්ත අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකාවල සර්වර් පරිගණක තුළ තැන්පත් කර චන්ද්‍රිකා සම්බන්ධතා හරහා සෘජුවම ඊට පිළිතුරු ග්‍රහකයන් වෙත ලබාදීම එහිදී සිදුවේ.ලෝකය පුරා පිහිටි විවිධ මතවාද දරන ආයතනයන් වුවද එකට එක්වී එක් යහපත් අරමුණක් වෙනුවෙන් කටයුතු කරමින් සිටීම නුදුරු අනාගතයේදීම අන්තර්ජාලය සමස්ත ලෝකය පුරා පැතිරුණු “සැබෑ ජාලයක්” බවට පත්වීමේ සුබ පෙර නිමිත්තකි.