Thursday, October 9, 2014

Greater Flamingo ඉංග්‍රීසි බසින් හැඳින්වෙන ෆ්ලෙමිංගෝ


ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් සමූහයෙන් මෙරට වඩාත් ජනප්‍රිය කුරුල්ලකු වන්නේ සියක්කාරයාය. ෆ්ලෙමින්ගෝ යනුවෙන් ඉංග්‍රීසි බසින් හඳුන්වන සියක්කාරයන් ලෝකයේ විශේෂ හයක් දැකිය හැකිවෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ද ලෝකයේ ෆ්ලෙමිංගෝ විශේෂ හතක් ජීවත්වී ඇතැයි සැළකේ. ඔවුන් වර්තමානයේ දක්නට ඇති ෆ්ලෙමිංගෝ විශේෂවලින් වෙනස් වූ ලක්ෂණ දැරූ බව ද පවසන විද්‍යාඥයන් එම විශේෂ හතට වෙනත් විද්‍යාත්මක නම් දී ඇත.

දැනට ලොව වාර්තාවන ෆ්ලෙමිංගෝ විශේෂ හයෙන් විශේෂ දෙකක් ශීත සෘතුව එළඹීමත් සමග ශ්‍රී ලංකාවට ද පියඹා එති. ඉන් එක් විශේෂයක් වන්නේ Greater Flamingo යනුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන රජ සියක්කාරයාය. සත්ත්ව විද්‍යාත්මකව ෆීනිකොප්ටෙරස් රොසේයුස් (Phoenicopterus roseus) ලෙස හැඳින්වේ.
ලොව පුළුල්ව පැතිරී සිටින පක්ෂි විශේෂයක් ලෙස  පිළිගැණේ.


අප්‍රිකා මහද්වීපයේ කොටසක් නිජබිම් කැරගත් මේ පක්ෂියා දකුණු ආසියාවේ පකිස්ථානයේ හා ඉන්දියාවේ ද වාසය කරයි. ස්පාඤ්ඤය, ඇල්බේනියාව, තුර්කිය, ග්‍රීසිය, සයිප්‍රස්, පෘතුගාලය, ඉතාලිය හා ප්‍රංශයේ ද ජීවත් වෙති.


විශාල රංචු වශයෙන් සියක්කාරයෝ වාසය කරති. එක් රංචුවකට 500ක් 1000ක් පමණ කුරුල්ලන් පිරිසක් අයත් වෙති. සුදු රෝස හා රතු මිශ්‍රිත සිරුරකට හිමිකම් කියන සියක්කාරය ඉතා අලංකාර පක්ෂියෙකි. සෙන්ටිමීටර 110ත් 150ත් අතර උසකට වැඩෙන සියක්කාරයකු අත්තටු විහිදූ විට දෙකෙලවර පරතරය මීටරයක් පමණ වේ.
රතු පැහැයට හුරු දිගු කකුල් හේතුවෙන් කළපුවල, මඩගොහොරුවල සහ නොගැඹුරු ජලයේ ඇවිදිමින් ආහාර සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.



උතුරු අර්ධගෝලයට ශීත සෘතුව එළඹීමත් සමග  කිලෝ මීටර් දහස් ගණන් දුර ගෙවා උණුසුම් රටවලට පැමිණෙයි. සියක්කාරයා වරකට බිත්තර 3 - 4 දමයි.


ෆ්ලෙමිංගෝ සතුන් සිය වාසස්ථාන කරගන්නා වගුරු බිම් හා කලපු විනාශය මොවුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත. මේ කුරුල්ලන් පියඹායන මාර්ගයේ තනන විදුලි කම්බි ද ඔවුන්ට මාරකයක් වී ඇත.

තොරතුරු අන්තර් ජාලය ඇසුරිනි

 

............මම දර්ශන කොඩිතුවක්කු..........

  


Monday, October 6, 2014

බ්ලඩ් මූන්

වප් මස පුර පසළොස්වක පොහොය යෙදී ඇති අටවැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයෝ කියති. මෙය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන් ම දර්ශනය වන්නේ නැත. චන්ද්‍රග්‍රහණයේ අවසන් කොටස පමණක් සවස් කාලයේ හඳ පායා එනවිට සුළු වශයෙන් මෙරටට පෙනෙනු ඇතැයි තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. උතුරු හා දකුණු ඇමෙරිකා රටවලටත් ඕස්ට්‍රේලියාව, ජපානය, කොරියාව ඇතුළු නැගෙනහිර ආසියාවටත් මෙය හොඳින් දර්ශනය වනු ඇත.

මෙවර චන්ද්‍රග්‍රහණය හේතුවෙන් රාත්‍රී කාලයේ දී සඳ රත් පැහැයෙන් පෙනෙන බැවින් එය බ්ලඩ් මූන් යනුවෙන් යුරෝපීයයෝ හඳුන්වති.      

මෙම චන්ද්‍ර ග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් වප් පෝදා (08) පස්වරු 1.46 සිට පස්වරු 7.04 දක්වා සිදු වන බව ද  මධ්‍යස්ථානය කියයි.

සඳු පොළොවේ සෙවනැල්ලට මුවා වීමෙන් චන්ද්‍රග්‍රණයන් දැකිය හැක්කේ  පසළොස්වක පොහොයදාක පමණි.

චන්ද්‍ර ග්‍රහණයකදී සිදු වනුයේ චන්ද්‍රයා වෙත හිරු එළිය ගමන් කිරීම  පෘතුවියෙන් අවහිර කිරීමයි.ඒ සඳහා හිරු ,සඳු හා පොළොව හරි කෙලින් පිහිටිය යුතුය.

.............මම දර්ශන කොඩිතුවක්කු..........

(පුර්ණ චන්ද්‍ර ග්‍රහණයක්  සිදු වන්නේ මෙසේය ඡායාරූපය අන්තර්ජාල දර්ශනයක්)