සාම්ප්‍රදායික ජපන් ඉවුම් පිහුම්වලදී අලුත් ආහාර ද්‍රව්‍ය වැදගත්කොට සැලකේ. සාමාන්‍යයෙන් රාත්‍රී ආහාර වේලක් සඳහා ජපන් නිවෙසකට ගොඩවැදුණු කෙනෙකුට කෑමට බත්ද, ‘මිසෝ’ නමින් හඳුන්වනු ලබන සෝයා බෝංචි පිටිවලින් සාදන ලද සුප් වර්ගයක්ද, මස් හෝ මාළු අච්චාරුද දෙනු ලැබේ.
‘ෂෝයු’ නමින් හඳුන්වනු ලබන සෝයා සෝස්ද, ‘වසබි’ නමින් හඳුන්වනු ලබන කොළ පැහැති රාබු වර්ගයක්ද, ‘තොරි’ නමින් හඳුන්වනු ලබන වියළන ලද මුහුදු පාසිද ජනප්‍රිය කෑම රසකරණයන් වේ.
ජපන් ආහාර වේලක ප්‍රධාන ආහාරය බත් වුවත් මාළුවලටද ප්‍රධාන තැනක් දෙයි. මුහුදු ආහාර හා එළවළුවලින් සාදා තෙලේ බදින ලද ‘තෙම්පුරා’ නැමති ආහාරය ඔවුන්ගේ ප්‍රියතම ආහාරවලින් එකකි. ‘සෂිමි’ නමින් හඳුන්වනු ලබන තුනියට කැපූ කුඩා අමු මාළු පෙති තබා සකස් කරන ‘සුෂි‘ නමැති ජපන් ආහාරය ලොව පුරා ප්‍රචලිතය. මෙම ආහාර පිසීම ඉතා සරල ලෙස පෙනුණද මේවා පිසීමේ නිපුණයකු වීමට වසර ගණනක අත්දැකීම් අවශ්‍ය වේ.
මස්මාංශ පාවිච්චිය වැඩිපුර නැතත් ජපානය තුළ කුකුල් මස්, ඌරු මස්, හරක් මස්ද කෑමට ගනියි.. ‘යකිතොරි’ නමින් හඳුන්වනු ලබන ලී කූරක ගසා පුච්චන ලද කුකුල් මස්, හරක් මස්, එළවළු හා ‘තෝෆු’ නම් මුදවන ලද සෝයා බෝංචි කිරි එකට දමා යකඩ තාච්චියක උයා ගන්නා ‘සූකියකිද’ ජපන් ජාතිකයන්ගේ ජනප්‍රිය ආහාරයකි.
‘සොබා’ සහ ‘උදොත්’ යන තිරිඟු පිටිවලින් සාදන නූඩ්ල්ස්, බත් වෙනුවට ඔවුන් ගන්නා තවත් ආහාරයකි. මේවා අනුභවයට ගැනීමේදී උණුසුම් සුප් සහිත ගැඹුරු භාජනවලට මෙම නූඩ්ල්ස් දමා ඊට උඩින් එළවළු හෝ මුදවපු සෝයා බෝංචි කිරි හෝ ‘තෙම්පුරා’ හෝ දමා ඔවුන් අනුභවයට ගනිති. එමෙන්ම සෝස්වල බහා සකස් කරගන්නා ලද සිසිල් නූඩ්ල්ස් ග්‍රීෂ්ම තුවේදී ප්‍රබෝධමත් දිවා ආහාරයක් වේ.
ජපානයේ ජනප්‍රිය ජාත්‍යන්තර ආහාර අතරින් චීන කෑම, කොරියානු බැදුම් ව්‍යාංජන, ස්පැගටි වර්ග, මස් ස්ටේක් වර්ග, හැම්බර්ගර් වර්ග සහ පීට්සා වර්ග වෙයි. අද ජපන් තරුණ කොටස් ක්ෂණික ආහාරවලට වැඩි කැමැත්තක් දක්වන අතර පාස්තා පොටේටෝ චිප්ස් (අල බැදුම්) ඔම්ලට් වර්ග, හොට්ඩෝග්, යෝගට්, චොකලට්, අයිස්ක්‍රීම්, කේක් වැනි කෑම වර්ග නිවෙස් තුළ එදිනෙදා ආහාර වේලටද එකතු කරගනු ලැබේ.
ජපානයේ අලුත් අවුරුදු උත්සවය ‘ඔෂෝගත්සු’ යනුවෙන් හඳුන්වනු ලබන අතර ගිම්හානයේ පවත්වනු ලබන ‘ඔබොන්’ උත්සවයට පමණක් මෙය දෙවැනි වේ. නව වසරට සතියකට පමණ පෙර පවුලේ සාමාජිකයෝ සියලු දෙනා එකට එකතු වී ‘මොචි’ සාදති. චාරිත්‍රානුකූලව ‘මොචි’ සෑදීමට සහල් තුනී කපු රෙද්දක ඔතා දැවයෙන් හෝ උණබටවලින් හෝ සෑදූ පෙට්ටිවල දමා හුමාලයෙන් තම්බා ගනු ලැබේ. සමහර අවස්ථාවලදී මේවාට විවිධ රසකාරකද එකතු කරනු ලැබේ. තැම්බූ සහල් වංගෙඩියක දමා කෙටීම මුලින්ම කරනු ලබයි. එය පසුව උණුකරයි. ඇලෙන සුළු තලපයක් වූ විට පත්තකින් කූරු ගා හොඳින් මිශ්‍ර කරනු ලැබේ. එකම ධාන්‍ය ඇටයක්වත් ඉතිරි නොවන ලෙස කොටා කූරු ගා ගත් පසු තලපය කෑලිවලට කපා ‘මොචි’ බෝල සාදා ගනිති.
පළමුවෙන්ම ‘මොචි’ පූජාසනයන්හි තබා මළගිය ඇත්තන්ට පූජා කරනු ලැබේ. ඉන්පසුව පවුලේ සාමාජිකයන් ‘මොචි’ අනුභව කරති. මොචි’ සෑදීම සඳහා යම් අමතර වෙහෙසක් දරන්නට සිදුවේ. එම නිසා සමහර ජපන් ජාතිකයන් ඒවාට ආවේණික උපකරණ වෙනුවට නව
තාක්ෂණික විදුලි උපකරණද භාවිතා කරනු ලැබේ. සමහර නාගරික ජපන් ජාතිකයෝ නිවෙස්වල ‘මොචි’ නොසදා කඩවලින් ‘මොචි’ මිලදී ගැනීමටද පෙළඹී ඇත. ‘මොචි’ යන ජපන් වචනයේ අරුත ‘පුන්සඳ’ යන්නයි. භක්තිමත්ව සඳ දෙස බලන්නෙකුට නිරතුරුවම ‘මොචි’ හදමින් සිටින හාවෙකු දැකිය හැකි යැයි පැරණි ජපන් ජන විශ්වාසයක්ද ජපනුන් තුළ කිඳාබැස ඇත.
‘ඔවා’ නමින් හඳුන්වනු ලබන කොළ පැහැති තේ වර්ගය ජපානයේ අනර්ඝ බිමකි. මෙම තේ පානය කරනු ලබන්නේ කෑම කෑමෙන් අනතුරුව හා ප්රියසම්භාෂණවලදීය.
‘කෝවා’ නමින් හඳුන්වනු ලබන සාමාන්‍ය තේද, සහල්වලින් සාදන ලද ‘සකේ’ නමැති වයින්ද, ධාන්‍ය වර්ගවලින් හා මිදි වැනි පලතුරුවලින් සාදා ගන්නා ‘ෂෝවු’ නමැති මද්යසාරයද ජපානයේ ජනප්‍රිය බිම වර්ගයි.
ජපානයේ ‘සකේ’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ සහල් වයින්ය. ‘සුමෝ’ සටන්කරුවන්ගේ ඉතිහාසය සමග වෙලී ඇති ‘සකේ’ පානයෙහි ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ තුන්වෙනි ශතවර්ෂය තරම් පැරණිය. ආදිකාලයේ ‘සකේ’ සකස් කරන ලද්දේ ගම්වල සිටින ජපන් ජාතිකයන් සැමගේ සහභාගිත්වයෙනි.
එකල ගම්මු එක් තැනකට වී සහල්, චෙස්ට්නට් සහ මෙනේරි විකා එම හපය විශාල භාජනයකට දැමූහ. ඉක්බිතිව කල්දේරම තුළ සකේ පැසීමෙන් පසු මද්‍යසාරය සෑදේ. එකල සකේ හැඳින්වූයේ කටේ දමා විකා හදන සකේ යන අරුත දෙන යනුවෙනි.
ෂින්තෝ ආගමික උත්සවවලදී සකේ ඉතා වැදගත් විය. අස්වැන්න නෙළාගත් පසු දෙවියන්ට පූජා කිරීමටද
මළගිය ඇත්තන් සිහිපත් කරන විට පූජා කිරීමටද නව අවුරුදු උත්සවවලදී පානය කිරීමටද සකේ ජපන් ජාතිකයන්ට ඉතා අත්‍යවශ්‍ය වේ.
යීස්ට් සොයා ගැනීමෙන් පසු සකේවල මද්‍යසාර ප්‍රතිශතය වැඩිවිය. ජපානයේ සකේ මද්‍යසාර
නිෂ්පාදනාගාර 2000කින් සකේ වර්ග 10,000 පමණ නිපදවේ. සහල්, ජලය, යීස්ට් යන ද්‍රව්‍යද කොජීනමින් හැඳින්වෙන
ක්ෂුද්‍ර ජීවීන්ද උපයෝගි කරගෙනද මෙම මද්‍යසාරය ජපානයේ නිපදවනු ලැබේ.
No comments:
Post a Comment