Wednesday, January 14, 2015

මොනෝසෝඩියම් ග්ලූටාමේට් නොහොත් සියලු දෙනා දන්නා Jinamoto

අවුරුදු දහස් ගණනකට පෙර මිනිසුන් ආහාරයක් පිළියෙළ කරගන්න පුරුදු වෙලා හිටියේ ඉතාමත් සරල ආකාරයට. නමුත් පරිණාමය සමග හා විද්‍යා තාක්ෂණ දියුණුවත් සමග මිනිසා ආහාර පිළියෙළ කරගැනීමේ අලුත් ක්‍රම සොයා ගත්තා. අද වන විට ආහාර පිළියෙළ කරගැනීමේ ක්‍රම, ආහාර සංස්කෘතීන්, සිරිත් විරිත් බොහෝ ගණනක් ලෝකය පුරා පැතිර තිබෙනවා. අපේ ජන සමාජයේද විවිධ ආහාර සංස්කෘතීන් හා සිරිත් විරිත් තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන් විවිධ ආහාර සංස්කෘතීන් දක්නට ලැබෙනවා. මේ සංස්කෘතීන්ට අයත් ජාතීන්ද සැලකිය යුතු ප්‍රතිශතවලින් අපේ රටේ ජීවත් වෙනවා. කොහොම වුණත් සැලකිය යුතු තරම් ප්‍රතිශතයක් අපේ රටේ ජීවත් නොවුණත් මේ සඳහන් කළ ජාතීන්ට අයත් නොවන, එහෙත්, අනෙක් සියලු ආහාර සංස්කෘතියක්ම පරදවන තරමට මිනිසුන් අතර ජනප්‍රිය ආහාර සංස්කෘතියක්ද අපේ රටේ තිබෙනවා. ඒ තමයි ‘චීන ආහාර’. අපේ රටේ කුමන නගරයක් බැලුවත් සියලු දෙනා අතර මෙම චීන ආහාර චීන අවන්හල් අතිශය ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබෙනවා. ‘චයිනීස් පාරක් දාමු’ කියන තරමට මිනිසුන් මෙයට සමීපයි. මේ හැම තැනම තියෙන්නේ චීන්නු හදන විදියේ ආහාරමද කියන එක නොදන්නවා වුණත් හැම තැනම අනුගමනය කරන්නේ නම් එකම විදිහේ ආහාර පිළියෙළ කිරීමේ රටාවක්. මේ චීන අවන්හල් සංස්කෘතිය ඇත්තෙන්ම අපේ රටේ පමණක් නොවෙයි මුළු ලෝකය පුරාම මේ විදිහට පැතිරිලා තියෙනවා. මේ පැතිරීමත් එක්ක තව දෙයකුත් පැතිරෙන්නට පටන් අරන්. එය හඳුන්වන්නේ ‘චීන අවන්හල් සහලක්ෂණය’ (Chinese Restaurant Syndrome) නමින්.
මොකක්ද මේ චීන අවන්හල් සහලක්ෂණය කියලා කියන්නේ?
චීන අවන්හල් සහලක්ෂණය කියලා කියන්නේ චීන කෑම අනුභව කළාට පසුව පෙන්නුම් කරන රෝග ලක්ෂණවලට. චීන කෑම කාපු ගමන් මේ රෝග
ලක්ෂණ පහල වෙනවා කියලා මෙයින් කියැවෙන්නේ නැහැ. කොහොම වුණත් මේ කියන්නට යන විස්තරය දැනගත්තට පස්සේ ඔබටම පුළුවන් ඒ ගැන අවබෝධ කරගන්න. චීන අවන්හල් ලෝකය පුරා පැතිර යන තරම් වේගයකින් මේ රෝගයත් පැතිර ගොස් තිබෙනවා. ඇතැම් අය පවසන්නේ ඇත්තටම මෙවැනි රෝගයක් නොපවතින බවයි. විශේෂයෙන් චීන අවන්හල් ව්‍යාපාරයේ යෙදී සිටින අය නම් මෙයට විරුද්ධව විවිධ අදහස් දක්වනවා.
චීන අවන්හල්
සහලක්ෂණය ගැන අපට මුලින්ම අසන්නට ලැබෙන්නේ 1968 වසරේදී. ඇමෙරිකානු වෛද්‍ය සඟරාවක් වන ‘නිව් ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්’ සඳහා එච්.එච්. ෂොම්බර්ගන්ඩ් සහ ආර්. බික් විසින් ඉදිරිපත් කරන ලද නිබන්ධනයකින් මේ රෝගය ගැන විස්තරකොට තිබුණා. ඔවුන් සඳහන් කොට තිබුණේ විවිධ පුද්ගලයන් විවිධ මට්ටම්වලින් මෙම රෝගයට ගොදුරු වන බවයි. චීන ආහාරවලට අනිවාර්යයෙන්ම එකතු කරනු ලබන රසකාරකයක් වන ‘මොනෝසෝඩියම් ග්ලූටාමේට්’ (monosodium glutamate - MSG) මේ රෝගය සඳහා මූලික වශයෙන්ම හේතුවන බව ඔවුන් සඳහන්කොට තිබෙනවා. මොනෝසෝඩියම් ග්ලූටාමේට් කියන්නේ පස්සවන fermented ලද සෝයා බෝංචි සහ චීස්වල ස්වාභාවිකවම අඩංගු වන ‘ග්ලූටාමික්’ කියන අම්ලයෙන් පිළියෙළ කරගන්නා රසකාරකයක්. මේවා වෙළෙඳ නම්වලින් අප රටේද අලෙවි කෙරෙනවා. ඒ සමගම මොනෝසෝඩියම් ග්ලූටාමේට් යන නමින් සඳහන් වන නිසා ඔබට මේවා පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙය අනුමත රසකාරකයක් වුණත්, කුඩා දරුවන් සඳහා මෙය නිර්දේශකොට නැහැ. විවිධ පුද්ගලයන්ට මෙය විවිධ මට්ටම්වලින් බලපෑවත් හිස්බඩ මෙවැනි ආහාරයක් ගැනීමෙන් මෙහි රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් පැවැසෙනවා.
මොනෝසෝඩියම් ග්ලූටාමේට්, ආහාරවලට එක්කර ගැනීම පිළිබඳ බොහෝ කාලයක සිට අපේ රටේ කතාබහට ලක්වූවත්, ඒ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් කිසිවක් නොපවසන නිසා මෙය වෙළෙඳ‍පොළෙන් පහසුවෙන්ම මිලදී ගන්නට පුළුවන්. ආහාර රස කරගැනීම සඳහා මොනෝසෝඩියම් ග්ලූටාමේට්වලට ඇත්තේ අපූරු හැකියාවක් යැයි පැවැසෙනවා. මේ නිසාම මෙය චීන ආහාරවලත් අත්‍යවශ්‍යම රසකාරකයක් බවට පත්වෙලා. චීන ආහාරවලට මෙම රසකාරකය එක්කරන ප්‍රමාණයේ තරමට රෝග ලක්ෂණද කැපී පෙනෙන ලෙස පෙන්නුම් කරනවා.
චීන ආහාර වේලක් ගත්තායින් පසුව කිසියම් පුද්ගලයකුට කලබලකාරී හැඟීමක්, පපුවේ කැක්කුමක්, හිස කැක්කුමක්, මුඛය හිරිවැටීමක් හෝ දැවිල්ලක් වැනි තත්ත්වයක්, මුහුණේ මාංශ පේශීන්වල පීඩනයක්, මුහුණ ඉදිමීමක් සහ දහඩිය වැනි ලක්ෂණ පහළ වෙනවා නම් කිවයුත්තේ ඒ තැනැත්තා චීන අවන්හල් සහලක්ෂණයට ගොදුරුව ඇති බවයි. මෙය ඇත්තෙන්ම අසාත්මික තත්ත්වයක්. මෙවැනි බොහෝ රෝග ලක්ෂණ විශේෂ වෛද්‍ය ප්‍රතිකාරයකින් තොරවම වුණත් තුරන්වී යා හැකියි. ඒ වගේම අසාත්මිකතාව සඳහා ලබා දෙන ඖෂධවලින්ද මේ සඳහා සහනයක් ලබාගන්නට පුළුවන්. නමුත් ඇතැම් අයට තරමක් දරුණු ලෙස මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකියි. ඒවා අතර හුස්ම ගැනීමේ අපහසුව සමග ඇතිවන අක්‍රමවත් හෘද ස්පන්දනය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එවැනි තත්ත්වයකදී නම් හැකි ඉක්මනින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්යයි.
මෙම රෝගය මුලින්ම නිරීක්ෂණය කරනු ලැබුවේ චීන අවන්හල්වලින් ආහාර ලබාගත් පුද්ගලයන්ගෙන් නිසා මෙයට ‘චීන අවන්හල් සහලක්ෂණය’ යනුවෙන් නම් තැබුවත්, වර්තමානයේ චීන නොවන අවන්හල්වල පිළියෙළ කරන ආහාර නිසාද මෙය ඇතිවන බව සොයාගෙන තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ ඒවායේ ආහාර රස කිරීම සඳහාද මොනෝසෝඩියම් ග්ලූටාමේට් යොදා ගැනීමයි.
කෙසේ වෙතත් අධික රසයට ලොල්වීම ලෙඩ රෝග රැසකට අත වනන බව නම් අපි බොහෝ කාලයක සිට දන්නා දෙයක්. චීන අවන්හල්වලින් හෝ එවැනි වෙනත් ස්ථානවලින් ආහාර ගැනීම නතර කරන්නැයි මෙයින් පැවසෙන්නේ නැහැ. නමුත් නිරෝගීකම පරම ලාභය අප සියලු දෙනා දන්නා සත්‍යයක්. අධික රසයට ලොල්වීමේ ප්‍රතිඵලයක් විදිහයට නිරෝගී බව අහිමිවනවා නම් එවැනි ආහාරවලින් තරමක් දුරට හෝ ඈත්ව සිටීම නුවණට හුරු දෙයක් බවයි සඳහන් කළ යුත්තේ.

No comments:

Post a Comment