Wednesday, January 14, 2015

ශ්‍රී ලංකාවට ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සැපත්වීමේ වටිනාකම

“ඔබ වහන්සේ අප අතරට වැඩම කරන තුරු අප පුල පුලා බලා සිටින්නේ දෙවියන් වහන්සේගේ මේ විශිෂ්ට හා කීකරු දාසයා වූ භාග්‍යවත් ජුසේවාස් තුමන් සාන්තුවරයට එසවීමේ මහඟු තිළිණය අපට ලබා දෙනතුරුය. 16 හා 17වැනි සියවස්වලදී කතෝලික විරෝධීන්ගේ තාඩන පීඩනවලට ගොදුරුව සිටි සමයක උන්වහන්සේගේ වීරෝදාර දූතික සේවාව මගින් අප රටේ කතෝලික විශ්වාසය යළි උත්ථාන කළ අතර උන්වහන්සේ සිරිලක කතෝලික සභාවේ දෙවන නිර්මාපකයාය”.
“අති උත්තම සුදොතුම් පියාණෙනි, ඔබ වහන්සේගේ පැමිණීම ගැන මහත් ආනන්දයෙන් හා බලා‍පොරොත්තුවෙන් දෑස් දල්වා සිටින අතර දෙවියන් වහන්සේගේ රැකවරණය, ශක්තිය හා ආරක්ෂාව නිරතුරු ඔබ සමග වේවා යැයි අපි යාච්ඤා කරන්නෙමු”.
ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ හමුවේ ශ්‍රී ලංකා කතෝලික සභාවේ නායක අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් කළ දෙසුමකින් උපුටා ගත් එම කොටස්වලට අනුව පාප්තුමා ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වන වගත් එම ගමනේදී භාග්‍යවත් ජුසේවාස් මුනිතුමන් සාන්තුවරයට එසවීමත් සිදුවන බවත් දැනටමත් ශ්‍රී ලාංකිකයෝ දන්නාහුය. පසුගිය සතියේ වතිකානයට ගිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාප් වහන්සේට ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වෙන ලෙස නිල වශයෙන් කළ ආරාධනය උන්වහන්සේ පිළිගෙන ඇත.
2015 ජනවාරි 13 වැනි අඟහරුවාදා පෙරවරු 9.00ට ශුද්ධෝත්තම පාප්තුමා ශ්‍රී ලංකාවට සැපත්වන අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේදී එතුමාව පිළිගැනීමේ කෙටි නිල උත්සවයක් පැවැත්වෙයි. ඉන්පසු පාප්තුමා විවෘත රථයකින් මීගමු කොළඹ පාර ඔස්සේ මග දෙපස ජනතාවගේ බුහුමන් ලබමින් අගරදගුරු නිවසට පස්වරු 2.00ට පමණ සැපත් වෙති. එහිදී පාප්තුමා සහ රදගුරුවරු ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් අතර කෙටි හමුවක් පැවැත්වේ. දිවා භෝජනයෙන් පසු පස්වරු 4.45ට පමණ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පාප්තුමා සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්වෙන අතර එම අවස්ථාව අතරතුර පාප්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සිහිවටන සමරු මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතය. එම කටයුතුවලින් පසුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පාප්තුමා සහ මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායක හමුවක්ද පැවැත්වීමට නියමිතය.
ඉන්පසු 14වැනි බදාදා උදේ 7.15ට පමණ අ‍පෝස්තලිත තානාපති මැදුරෙන් පිටත්වන පාප්තුමා උදේ 7.30ට පමණ විවෘත රියකින් ගාලුමුවදොර ප්‍රදේශය වටා සැරිසැරීමට නියමිතය. එහිදී සැදැහැවතුන්ට උන්වහන්සේව දැකබලා ගැනීමටත් උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමටත් හැකි වනු ඇත. ඉන්පසු පෙරවරු 8.00, 8.15පමණ වන විට පාප්තුමා ගාලුමුවදොර ඉදිකරනු ලබන පූජාසනයක සිට ශ්‍රී ලංකාවේදී උන්වහන්සේ පවත්වන මහා දිව්‍ය පූජා යාගය සිදු කරයි.
මෙම දිව්‍ය පූජා යාගය අතරතුරදී මහිම ගීයට පෙර ප්‍රැන්සිස් පාප්තුමා ශ්‍රී ලංකාවට සැපත් වූ මුඛ්‍ය කාරණය, එනම් භාග්‍යවත් ජුසේවාස් මුනිවරයා ශුද්ධවරයට එසවීමේ මහඟු කාර්යය සිදු කෙරෙනු ඇත. ලන්දේසි පාලන සමයේදී කතෝලිකයන් පීඩාවට පත්කරමින් ලන්දේසීන් සිදු කළ කතෝලික ආගම් සංහාරය හමුවේ අනේකවිධ දුක්පීඩා, කම්කටොළු විඳ දරා ගැනිමින් සිරි ලක ගම් දනව් පුරා දේව සේවයේ යෙදී කතෝලික ධර්ම ප්‍රචාරයේ ඉමහත් අසීරුවෙන් යෙදුන ජුසේවාස් පියතුමා ස්වර්ගස්ථ වූ මහනුවර ප්‍රදේශය අයත් මහනුවර රදගුරු වසමේ රදගුරු අතිඋතුම් වියානි ප්‍රනාන්දු හිමිපාණෝ විසින් භාග්‍යවත් ජුසේවාස් මුනිවරයානන් ශුද්ධවන්ත භාවයට ඔසවාලන මෙන් පාප්තුමාට ආයාචනයක් ඉදිරිපත් කරනු ඇත.
ඉන්පසුව භාග්‍යවත් ජුසේවාස් මුනිතුමන්ව ශුද්ධවන්ත භාවයට ඔසවන බව සිරිලක ගාලු මුවදොරදී ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඉදිරියේ පාප් වහන්සේ විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.
භාග්‍යවත් ජුසේවාස් තුමන් සාන්තුවරයට එසවීම සඳහා වතිකානයේ සාන්තුවරයාට එසවීමේ කටයුතු හා හේතුන් සොයා බැලීමේ ශුද්ධාසන නියෝජනය මගින් අවසන් විමසීම් කටයුතු මේ වන විට සිදු කර අවසන්ය. ඒ සඳහා සසුන් නියෝජනයේ කාදිනල් හිමිපාණන්ගේ අනුමැතියද ලැබි අවසාන අනුමැතිය ශුද්ධෝත්තම පියතුමාගෙන්ද ලැබි තිබේ.
ගාලු මුවදොර පැවැත්වෙන දේව මෙහෙයෙන් පසු පස්වරු 2.00ට පමණ මඩු දේවස්ථානයට සැපත්වන ශුද්ධෝත්තම පියතුමා එහිදී ජපමාල උච්චාරණය හා යැදුම් මෙහෙයකට සහභාගි වෙයි. එම අවස්ථාවේදී උන්වහන්සේ දෙසුමක්ද පැවැත්වීමට නියමිතය. අනතුරුව උන්වහන්සේ මරද මඩු මෑණියන්ගේ ප්‍රතිමාවෙන් බැතිමතුන් ආසිරි ගන්වනු ලැබේ. මඩු සිද්ධස්ථානයේදී එතුමාව පිළිගනු ලබන්නේ මන්නාරමේ රදගුරුතුමා විසිනි. 2015 ජනවාරි 15වැනි බ්‍රහස්පතින්දා උදේ 8.00ට කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පාප්තුමාට සමුදීමේ කෙටි රාජ්‍ය උත්සවයක් පැවැත්වෙයි. ඉන්පසුව පෙරවරු 9.00ට පමණ පාප් වහන්සේ පිලිපීනය බලා පිටත් වේ.
පාප් වහන්සේ යනු කවරෙක්ද? භාග්‍යවත් ජුසේවාස් මුනිතුමා කියන්නේ කව්ද? ශුද්ධවන්තයෙකු කියන්නේ කාටද? මේවා පිළිබඳව මෙම ලිපිය කියවන කතෝලික නොවන පාඨකයින්ට ගැටලු මතුවනු ඇත.
පාප් වහන්සේ යනු ක්‍රිස්තුස් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා (ගෝලයා) වූ ශුද්ධ වූ පේදුරුතුමාගේ අනුප්‍රාප්තිකයෙකි. ක්‍රිස්තුස් වහන්සේ එතුමාගේ ජීවිතයේ අවසාන තුන් අවුරුද්ද ‍පොදු ජනතාව සමග ගැවසෙමින් සිදු කළ දහම් සේවා කටයුතුවලදී එතුමාට ශ්‍රාවකයින් දොළොස් දෙනෙකු සිටි අතර ඉන් පළමුවැන්නා වූණේ පේදුරුතුමාය. ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධ වූ සභාව ඉදිරියට පවත්වාගෙන යාමේ කටයුත්ත පැවරුවේ ශුද්ධ වූ පේදුරුතුමාටය.
“ඔබ පේදුරුය. පේදුරු නමැති මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි. මරණයේ බලයට වුවද එය පරාජය කළ නොහැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුර ඔබට දෙන්නෙමි. ඔබ ‍පොළවේ යමක් බඳිනු ලබන්නේද? එය ස්වර්ගයෙහි ද බඳිනු ලබන්නේය”. ක්‍රිස්තුස් වහන්සේ පේදුරුතුමාට ශුද්ධවූ සභාවේ නායකත්වය පැවරුවේ එලෙස ප්‍රකාශ කරමිනි.
ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසුව එනම් ක්‍රි.ව. 33 සිට ක්‍රි.ව. 64 හෝ 67 දක්වා පමණ ශුද්ධ වූ පේදුරුතුමා කතෝලික සභාවේ පළමු නායකයා ලෙස කටයුතු කර තිබේ. එතුමාගේ මරණයෙන් පසුව ක්‍රි.ව. 64 හෝ 67 සිට ක්‍රි.ව. 76, 77 දක්වා කතෝලික සභාවේ නායකයා ලෙස දෙවැනි වරට පත්වූයේ ශුද්ධ වූ ලීනූස්තුමාය. තුන්වැනි වරට නායකයා ලෙස පත්වී සිටියේ ක්‍රි.ව. 76, 79 පමණ සිට 92 දක්වා සිටි ශුද්ධ වූ ඇනක්ලීටස්තුමාය. එසේ පාප්වරුන්ගේ මරණයෙන් හෝ විශ්‍රාම යෑමෙන් පසුව අනුප්‍රාප්තිකයන් පත්වී වර්තමානයේ සිටින්නේ 266වැනි ශුද්ධ වූ පාප්තුමාය. එතුමා පළමු වැනි ප්‍රැන්සිස් පාප්තුමාය. හොර්ගේ බර්ගග්ලියෝ නමින් සිටි එතුමා පාප් තනතුරට පත්වූ පසු අසීසියේ ප්‍රැන්සිස් මුනිඳුන් සිහිවීම සඳහා ප්‍රැන්සිස් නාමය තෝරාගෙන තිබේ.
අසීසියේ ප්‍රැන්සිස්තුමා යනු දිළින්දන්ගේ සේවකයෙකු ලෙස දිළින්දන්ට දයාව පාමින්, දිළින්දන් හා ලෙඩුන් අතර, විශේෂයෙන් ලාදුරු රෝගීන් අතර එතුමාගේ දයාවේ ක්‍රියාවන් වර්ධනය කළ අයෙකි. මෙසේ දිළින්දන් සඳහා මහා දයා කරුණාවක් පෑ අසීසියේ ප්‍රැන්සිස්තුමා වත්මන් පාප්තුමාගේ ඉමහත් භක්ත්‍යාදරයට පාත්‍රවූ මුනිවරයෙක් විය. වත්මන් ප්‍රැන්සිස් පාප්තුමාද දිළින්දන්ට, අසරණයින්ට, පීඩිතයින්ට මහත් දයාව කරුණාව, පාන්නෙකි. ආර්ජෙන්ටිනා වැසියෙකු වන වත්මන් පාප්තුමා ආර්ජෙන්ටිනාවේ මිලියන 42ක් පමණ වන ජනතාවගෙන් දිළිඳු ජනතාව වන 30 - 35 පමණ වන ජන කොටසේ වද වේදනා සමග සමීපතම සබඳතා දැක්වූවෙකි. දිළිඳු ජනතාව වෙනුවෙන් පාලන තන්ත්‍රය සමගද ගැටී ඇති උන්වහන්සේ ගබ්සාවද, සමලිංගික විවාහයන්ටද විරුද්ධව කතෝලික ඉගැන්වීම් මත පිහිටා සුවිසල් විරෝධතාවයක්ද ගෙන ගිය අයෙකි.
පීඩිතයන් වෙනුවෙන් හඬ නැගීම කිතුණු සංකේතයක් මිස කොමියුනිස්ට් සලකුණක් නොවන බවත් වසර දෙදහසකට පමණ පෙර ක්‍රිස්තුස් වහන්සේ උගන්වා වදාළ කිතු දහමේ ප්‍රේම පාරමිතාව කාල්මාක්ස් උපුටා ගත් අතර එය කොමියුනිස්ට්වරුන් කතෝලිකයින්ගෙන් සොරකම් කරගත් දෙයක් බවත් මෑතකදී ඉතාලි පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ප්‍රැන්සිස් පාප්තුමා ප්‍රකාශ කර තිබුණි. එතුමා පීඩිතයින් වෙනුවෙන් සිදු කරන ජනතා මෙහෙවර ලෝක ජනතාව කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියට ගෙන යනු ඇතැයි කතෝලික විශ්වාසයයි.
පාප්තුමා විසින් ශ්‍රී ලංකාවේදී ශුද්ධවන්තභාවයට පත් කරනු ලබන ජුසේවාස් මුනිවරයා යනු කවරෙක්ද? පෘතුගීසින් මෙරටට පැමිණීමත් සමග මෙරට කතෝලික ධර්මය ස්ථාපිත වූ අතර ශතවර්ෂ 1 1/2ක් පමණ තිබූ පෘතුගීසි පාලන සමයේදී බොහෝ ගම් දනව් සිසාරා කතෝලික ධර්මය පැතිරුණි. කතෝලික දේවස්ථාන විවිධ ප්‍රදේශවල ඉදිවූ අතර කතෝලික ධර්මය මෙරට ස්ථාපිත විය. එහෙත් ඉන් පසුව මෙරටට සංක්‍රමණය වූ ලන්දේසීන්, පෘතුගීසින්ව පරාජය කර ඔවුන්ගේ පාලන ප්‍රදේශ අල්ලා ගතී. කතෝලික දහම විනාශ කරමින්, කතෝලික දේවස්ථාන කඩා බිඳ දමමින් ලන්දේසීන් සිරිලක කිතුදහම වනසමින් කතෝලික ජනතාව එඩ්රෙකු නැති බැටලුවන් මෙන් ඉතා අසරණව සිටි අවස්ථාවක ඔවුන්ගේ පිහිටට ක්‍රි.ව. 1687 දී ඉන්දියාවේ ගෝවේ සිට පැමිණෙන්නේ ජුසේවාස් පියතුමාය. යාචකයෙකුගේ වෙස් ගෙන තම හිතවත් දාසයා වූ ජෝන් සමගින් මන්නාරමට ගොඩබට ජුසේවාස් පියතුමාගේ සන්තකයේ තිබුණේ දිව්‍ය පූජාව සිදු කිරීමට අවශ්‍ය දෑ තිබූ පෙට්ටියක් පමණි.
කතෝලික ආගම ඇදහීම, කතෝලික පූජකවරුන්ට නවාතැන් දීම මරණීය දඬුවම ලැබිමට හේතුවන බවට ලන්දේසීන් අණ නිකුත් කර තිබූ මේ යුගයේ ප්‍රසිද්ධියේ කතෝලික බැතිමතෙකු සොයා ගැනීම පවා  දුෂ්කර විය. කතෝලිකයන් සොයා හිඟන්නෙකු මෙන් වෙස්වලාගෙන ගෙන් ගෙට ගිය ජුසේවාස් පියතුමා කතෝලිකයින් එක් රැස්කර ඔවුන්ගේ ආගමික කටයුතු ඉටුකළේය. සිරිලක කතෝලිකයින්ගේ සිරිත් විරිත් අනුව දිවි ගෙවමින් වසර දෙකක් පමණ සිටියදී එතුමා ලුහුබැඳ ලන්දේසීන් පැමිණි බැවින් යාපනයේ සිට වන්නිය හරහා පුත්තලමට පැමිණ පුත්තලම, කල්පිටිය ප්‍රදේශවල කතෝලික ජනතාවට සේවය කර කන්ද උඩරට බලා ජුසේවාස් පියතුමා ගියේය.
එහිදී මෙතුමා පෘතුගීසි ඔත්තුකරුවෙකු යැයි සැක සිතූ විමලධර්මසූරිය රජු ජුසේවාස් පියතුමාව හිර අඩස්සියට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ දී කතෝලික දහම් සේවයේ යෙදී සිටි කාලයේදී හා සිර ගෙදරදී ද එතුමා සිංහල භාෂාව ඉගෙන ගත්තේය. පසුකාලීනව එතුමාගේ කරුණාවන්ත බව ගැන පැහැදුන රජතුමා එතුමාව නිදහස්කොට දෙව් මැදුරක් ද තනවා දී තිබේ.
1896දී උඩරට රාජ්‍ය පුරා ඇතිවූ තද නියඟය ජුසේවාස් පියතුමාගේ යැදුම් පිහිටෙන් මහත් වර්ෂවෙක් බවට පත්වූ බව කියැවේ. උඩරට රාජධානිය පුරා වසංගතයක් ලෙස වසූරිය පැතිර යද්දී සහායක පියවරුන් සමග ගිලනුන්ට ඇප උපස්ථාන කළේ ජුසේවාස් පියතුමාය. ජුසේවාස් පියතුමා පැමිණියාට පසු ගෝවේ සිටම පැමිණි ජාකෝමේ ගොන්සාල් වෙස් පියතුමාට සිංහල හා දෙමළ භාෂාව ප්‍රගුණ කරගන්නට උපදෙස් දී එතුමා සමග එක්ව දේශීය කිතුනු සාහිත්‍යයක්ද බිහි කරන්නට උපකාරී වූ ජුසේ වාස් පියතුමා එම යාච්ඤා සහ ගීතිකා උපයෝගී කරගෙන කතෝලික දහම තව තවත් ප්‍රචලිත කළේය. ජුසේවාස් පියතුමා 1711 ජනවාරි 16 වැනිදා මහනුවරදී ස්වර්ගස්ථ විය. එතුමාව භූමදාන කළා යැයි සැලකෙන මහනුවර ප්‍රදේශයේ එම ස්ථානයේ අද තිබෙන්නේ මුස්ලිම් පල්ලියකි.
ශාන්තුවරයෙක් නොඑසේ නම් ශුද්ධවන්තයෙක් වීමට නම් එතුමා හෝ එතුමිය ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙකු විය යුතුය. ක්‍රිස්තුස් වහන්සේගේ කාලයට තරමක් පසුව ශුද්ධවන්ත භාවය ලැබූ එතුමාගේ මව වූ මරියතුමිය, සුරැකි පියා වූ ජුසේතුමා, ස්නාවක ජුවාම් තුමා, ආනා මුනිවරිය වැන්නන් ශුද්ධවන්ත භාවය ලැබුවේ ක්‍රිස්තුස්වහන්සේගේ මැදහත්කමින් බව කියැවේ. එහෙත් පසුකාලීනව ශුද්ධවූ සභාව ශුද්ධවන්ත භාවය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළේය. ඒ අනුව ශුද්ධවන්ත භාවය සඳහා කෙනෙකුගේ මරණින් පසු අවධි තුනක් පසු කළ යුතුය. දේව සේවක, වන්දනීය හා භාග්‍යවන්ත එම අවධි තුනයි. ජුසේවාස් පියතුමා එම අවධි තුනම පසුකර තිබේ. එතුමාට දැන් උදාවිය යුත්තේ ශුද්ධවන්ත භාවයයි. වන්දනීය තත්ත්වයේ පසුවූ ජුසේවාස්තුමාව 1995 ජනවාරි 21 වැනි දින කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වූ දිව්‍ය පූජා යාගයේදී දෙවැනි ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා විසින් භාග්‍යවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කළේය. එතැන් සිට වසර විස්සකට පසුව 2015 ජනවාරි 14 වැනි දින ප්‍රැන්සිස් පාප්තුමන් විසින් ගාලුමුවදොර දිව්‍ය පූජා යාගයේදී භාග්‍යමත් ජුසේවාස්තුමාව ශුද්ධවන්ත භාවයට පත්කරනු ලබන බව ප්‍රකාශයට පත්කරනු ඇත.
ශ්‍රී ලංකාව, ගෝව පමණක් නොව පෘතුගාලය ආදි යුරෝපා රටවලද ජුසේවාස් තුමා ගැන ප්‍රචලිත වී එතුමාගේ මරණයෙන් පසු, එනම් 1713 දී එවකට ලංකාවේ කතෝලික දහම හා අදාළ කටයුතු බාරව සිටි ඉන්දියාවේ කොචින් රදගුරු දොම්පේදෝ පචෙකෝ රදගුරුතුමා ජුසේවාස් පියතුමාව භාග්‍යවතුන් ගොන්නට ඇතුළු කිරීමේ මූලික කටයුතු ආරම්භ කළේය. එම රදගුරුතුමා මිය ගියෙන් එම කටයුතු අඩාල වූවත් 1740 දී කොචින් හි රදගුරු ප්‍රැන්සිස් කෝද වස්කොන්වෙල්ලොස් තුමා මේ ගැන නැවත උත්සාහ කළත් පමාවී හෝ නැවත ජුසේවාස් ජන්ම භූමිය වූ ගෝවේ රදගුරු මතේවුස් ඔලිවේරා සේවියර් තුමා 1928 දී ජුසේවාස් පිය භාග්‍යවරයට එසවීමේ කාර්යය නිල වශයෙන් ආරම්භ කළේය.
1955දී හලාවත රදගුරු අති උතුම් එඩ්මන්ඩ් පීරිස් හිමිපාණෝ ජුසේවාස් පියතුමාව විගසින් භාග්‍යවරයට ඔසවන ලෙස ඉල්ලා ශ්‍රී ලාංකික කතෝලිකයින් 62,000ක අත්සනින් යුතු ලිපියක් එවකට වූ පාප්වහන්සේ වෙත බාරදුනි. 1970දී කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කාර්දිනල් කුරේ හිමිපාණන්ගේ මූලිකත්වයෙන් මේ පිළිබඳව කටයුතු කිරීමේ මූලික වගකීම ජුසේවාස් පියතුමා ස්වර්ගස්ථ වූ මහනුවර ප්‍රදේශය බාර මහනුවර රදගුරු පදවියට බාර දුනි. වසර කීපයක් පමා වී හෝ ජුසේවාස් තුමාගේ ශුද්ධවර භාවය පිළිගත් විශ්ව කතෝලික සභාව 1995 ජනවාරි 21 වැනි දින දෙවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමාණන් මගින් ශ්‍රී ලංකාවේදීම ජුසේවාස් පියතුමාව ශ්‍රී ලංකාවේ අ‍පෝස්තුළුවරයාණන් ලෙස භාග්‍යවරයට එසවීය.
භාග්‍යවරයට ඔසවනු ලැබිම යනු එතුමන් සිය ජීවිත කාලයේදී වැඩවාසය කළ හා ඇසුරු කළ පෙදෙස්හි බැතිමතුන් එතුමන්ට බුහුමන් කිරීමයි. භාග්‍යවරයට ඔසවනු ලැබිමෙන් පසු එතුමන්ගේ නමට කැප කරනු ලබන දේවස්ථාන එම ප්‍රදේශවල ඉදි කිරීමට පුළුවන. ජුසේවාස් පියතුමා භාග්‍යවරයට එසවීමෙන් පසු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල එතුමාගේ නාමයට කැප කරන ලද දේවස්ථාන ඉදිකර තිබේ.
මෙරට කිතු දහම මියැදී යන්නට ඉඩ නොදී ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග පසුකරමින් දෙපා වැරෙන් සිරිලක පුරා ඇවිද ලන්දේසීන්ගෙන්ද විටින් විට දේශීය රාජ්‍ය නායකයන්ගෙන්ද දුක් ගැහැට විඳිමින් ජුසේවාස් මුනිතුමා කරන ලද ධර්ම දූත සේවාව නොවන්නට සිරිලක කතෝලික ආගම වළපල්ලට යාමටද ඉඩ තිබිණි. එහෙයින් කෘතවේදී කතෝලික බැතිමතුන් එක් රොක් වී කළ හැකි උදාර කර්තව්‍ය වන්නේ එතුමන් ශුද්ධවරයට එසවීම ගැන දෙවි පියාණන්ට එක හඩින් තුති පිදීමයි.
පාප් වහන්සේගේ සැපත්වීමේ වටිනාකම
පෞද්ගලික
උපන් දිනය - 1936 දෙසැම්බර් 17 (වයස අවුරුදු 78)
උපන් ස්ථානය - බුවනෝස් අයර්ස්, ආර්ජන්ටිනාව
මුල් නම - හොගේ මාරියෝ බෙගෝලියෝ
පියා - මාරියෝ බෙගෝලියෝ
මව - රෙජිනා සිවෝරි බෙගෝලියෝ
ආගම - රෝමානු කතෝලික
පැවිදි දිවියේ වතගොත
1969 දෙසැම්බර් 13 - පූජාත්වරය ලබා පැවිදි දිවියට ඇතුළු වීම.
1973-1979 - ආර්ජන්ටිනාවේ ජේසු නිකායික පූජකයින්ගේ ප්‍රධානියා ලෙස සේවයේ නියැළෙයි.
1980-1986 - සැන් මිගෙල් දේවධර්ම හා දර්ශන පීඨයේ ප්‍රධානියා ලෙස සේවය කරයි.
1997 ජුනි 3 - බුවනෝස් අයර්ස්හි සහයක අගරදගුරුතුමන් ලෙස පත්වෙයි.
1998 පෙබරවාරි 28 - බුවනෝස් අයර්ස්හි අගරදගුරුතුමන් ලෙස පත්වෙයි.
2001 පෙබරවාරි 21 - දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් කාදිනල්වරයෙකු බවට පත්කරයි.
2005 නොවැම්බර් 8 - 2011 නොවැම්බර් 8 - ආර්ජන්ටිනාවේ බිෂොප්වරුන්ගේ සමුළුවේ සභාපති ධුරය හොබවයි.
2013 පෙබරවාරි 11 - දහසය වන බෙනඩික්ට් පාප්තුමන් වියපත්භාවය හේතු කරගෙන පාප් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කරයි.
2013 පෙබරවාරි 28 - පාප් ධුරයෙන් නිල වශයෙන් විශ්‍රාම ගනිමින් දහසය වන බෙනඩික්ට් පාප්තුමන් වතිකානුව හැරයයි.
2013 මාර්තු 13 - නව පාප්තුමෙකු තෝරා පත්කරගැනීම සඳහා කාදිනල්වරුන් එකසිය පහළොස් දෙනකුගේ සහභාගිත්වයෙන් වතිකානුවේ පැවැති මන්ත්‍රණ සභාවේ දෙවැනි දිනයේදී, කතෝලික සභාවේ දෙසීය හැටහය වැනි පාප් වහන්සේ ලෙස බෙගෝලියෝ කාදිනල්තුමන් තෝරා පත්කර ගැනෙයි. වතිකානුවේ වේලාවෙන් රාත්‍රී 7.00ට නව පාප්තුමෙකු තෝරා පත් කරගැනීම සංකේතාත්මකව නිවේදනය කරමින් සිස්ටීන් දේවස්ථාන චිමිනියෙන් සුදු දුම්රොටු ඉහළට නැගෙයි. සිය සුදතුම්නාමය ලෙස ‘ෆ්‍රැන්සිස්’ යන්න තෝරාගනිමින් නව පාප් වහන්සේ ශා. පීතර චතුරස්‍රයේ සදළුතලයට පැමිණ ජනතාවට ආචාර කරයි.
2013 මාර්තු 14 - ෆ්‍රැන්සිස් පාප්තුමන් සිස්ටීන් දේවස්ථානයේදී සිය පළමු දේව මෙහෙය පවත්වයි.
2013 මාර්තු 19 - ශා. පීතර චතුරස්‍රයේ රැස්ව සිටි දසදහස් ගණනක්වූ බැතිමතුන් ඉදිරියේදී ෆ්‍රැන්සිස් පාප්තුමන් නිල ලෙස පාප් ධුරයේ වැඩ අරඹයි.
2013 මාර්තු 23 - කතෝලික ශු. සභා ඉතිහාසයේ පළමුවරට පාප්තුමන්ලා දෙදෙනකුගේ හමුවීම සටහන් කරමින්, ‘කාස්ල් ගැන්ඩොල්ෆෝහිදී’ ෆ්‍රැන්සිස් පාප්තුමන් හිටපු පාප්තුමන් වන දහසය වන බෙනඩික්ට් පාප්තුමන් හමුවෙයි.
2013 මාර්තු 26 - පාප් වහන්සේට අයත් නිල මන්දිරය වෙනුවට වතිකානුවේ අමුත්තන් සඳහා වෙන්කොට ඇති හෝටලයක ලැගුම් ගැනීමට ෆ්‍රැන්සිස් පාප්තුමන් තීරණය කර ඇති බව වතිකානුව නිවේදනය කරයි.
2013 අප්‍රේල් 13 - කතෝලික සභාවේ ඉදිරි කටයුතුවලදී පාප් වහන්සේගේ සහය හා උපදෙස් ලබාදීම සඳහා කාදිනල්වරුන් අටදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කරයි.
2013 නොවැම්බර් 26 - කතෝලික සභාව මතෛක් කලක් අනුගමනය කළ සම්ප්‍රදායන් පිළිබඳ යළි සිතා බැලීමට ‍පොළඹවමින් පාප්තුමන් ‘ජ්මචදඨඥතඪ ට්චභඤඪභථ’ (ශුභාරංචියේ ප්‍රීතිය) යන නමින් පිටු අසූපහකින් යුතු කෘතියක් එළිදක්වයි.
2013 දෙසැම්බර් 11 - ටයිම් සඟරාව 2013 වසරේ පුද්ගලයා ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන්ව නම් කරයි.
2013 දෙසැම්බර් 24 - දහසය වන බෙනඩික්ට් පාප්තුමන් වෙසෙන ‘මාටර් එක්ලෙසියා’ නමැති තාපසාරාමය වෙත ගොස් එතුමන්ව බැහැ දකියි. පසුව එම ප්‍රදේශයේ වූ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන
ළමුන්ගේ සුවදුක් විමසීමට යයි.
2013 දෙසැම්බර් 24-25 - රෝමානු කතෝලික සභාවේ නායකයා ලෙස සිය පළමු මධ්‍යම රාත්‍රී දේව මෙහෙය ශා. පීතර බැසිලිකාවේ පවත්වයි.
2013 දෙසැම්බර් 25 - ශා. පීතර බැසිලිකාවේ සදළුතලයේ සිට පහළ චතුරස්‍රයේ රැස්ව සිටි හැත්තෑදහසක් වූ බැතිමතුන්ට සිය නත්තල් පණිවුඩය නිවේදනය කර ඔවුන්ව ආසිරි ගන්වයි.
2014 අප්‍රේල් 27 - කතෝලික සභාවේ භාග්‍යවන්තයන් සාන්තවරභාවයට එසවීම
පිළිබඳ විස්තර කරමින් හිටපු පාප්තුමන්ලා වන විසිතුන්වන ජෝන් පාප්තුමන් හා දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් සාන්තුවරයන් ලෙස ප්‍රකාශයට පත්කරයි

No comments:

Post a Comment