ජීවිතයට අර්ථයක් එකතු කර ගන්න උත්සාහ කරන්න
ඉන්දියාව
පසුගිය විසිහය වැනිදා සිය ජනරජ දිනය මහත් ඉහළින් සමරනු ලැබිය. මෙම විශේෂ අවස්ථාවට
සහභාගි වූ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ලෝක බලවතා ලෙස සලකන ඇමෙරිකා එක්සත් ජනපදයේ
ජනාධිපති බැරක් ඔබාමාය. ඇමෙරිකානු ජනපති වරයෙකු ඉන්දියාවේ ජනරජ දිනය සැමරීම සඳහා
ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි.
ඉන්දියාව යනු සාමාන්‍යයෙන් කාන්තාවන් අඩු සැලකුම් ලබන රටක්
ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති රටකි. ලොව වැඩිම කාන්තා හිංසන සිදුවන්නේත්, ලොව වැඩිම
කාන්තාවන් පිරිසක් අවිවාහකවම වියපත් වන්නේත් ඉන්දියාවේ බව, එරට අග්‍රාමාත්‍ය
නරේන්ද්‍ර මෝදි පැවසුවේ ඔහු බලයට පත් වූ අවස්ථාවේ ජාතිය අමතා සිදු කළ මුල්ම
කතාවේදීය. ඊට අමතරව වැඩිහිටි පිරිමින් කුඩා දැරියන් හා දරුවන් සේම වැඩිහිටි
කාන්තාවන් විසින් දරුවන් අපයෝජනයට ලක් කිරීම අතින් ද ඉන්දියාව ප්රමුඛ ස්ථානයක
පසුවේ. ඒ සියල්ලට අමතරව දෑවැදි ප්රශ්නය හේතුවෙන් විවාහ වන්නට නොහැකිව ළතවෙන
තරුණියෝද ඉන්දියාවේ ඕනෑ තරම් සිටිති.
මේ
සියලු කාරණා ඒ ආකාරයෙන් පෙළ ගැසෙද්දී පසුගිය දින ඉන්දියාවට පැමිණි ඇමෙරිකානු ජනපති
බැරක් ඔබාමා වෙනුවෙන් සිදු කරන ආරක්ෂක උත්තමාචාරය මෙහෙයවනු ලැබුවේද, හමුදා ගෞරව
සහිතව ඇමෙරිකානු ජනපතිවරයා පිළිගැනීමේ ආචාර
පෙළපාළිය මෙහෙයවනු ලැබුවේද කාන්තාවක
විසිනි.
ඇය නමින් පූජා තාකූර්ය. මේ වන විට වින්ග් කමාන්ඩර් තනතුරක්
දරන ඇය ඉන්දියාවේ මහාරාෂ්ටප්රදේශයේ
උපන්නියකි. මෙම විශේෂ අවස්ථාවේ ඇය විසින් සිදු කරන්නට නියම වූ කර්තව්‍යය නිසා මේ
වනවිට ඇය ඉන්දියාව තුළ පමණක් නොව සමස්ත ලෝකයේම අවධානයට ලක් වී සිටී. මේ නිසාම
නිව්දිල්ලි ටෙලිවිෂන් නොහොත් එන්.ඩී.ටී.වී.
ආයතනය ඇය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක්ද සිදු කර තිබිණි.
ඇමෙරිකානු ජනපතිවරයා වෙත ආරක්ෂක
උත්තමාචාර පිරිනැමීමේ අවස්ථාව සඳහා හමුදා නිලධාරීන් සිව් දෙනෙකු සහ නිලධාරිනියන්
තිදෙනෙකු තෝරාගෙන තිබිණි. නමුත් අවස්ථාව හිමි වන්නේ මෙම නිලධාරීන්ගෙන් එක් අයෙකුට
පමණක් වීම නිසා සියලු දෙනා සතියකට පෙර විශේෂ පුහුණුවකට සහභාගි කර තිබිණි. පුහුණුව
අවසානයේ මෙම අවස්ථාවට සහභාගි විය යුත්තේ කුමන නිලධාරියාද යන්න පිළිබඳව නිවේදනය කරනු
ලැබුවේ උත්සවයට දින දෙකක් තිබියදීය. නමුත් ඇය පවසන්නේ තමන් හමුදාවට බැඳී වසර 14ක
කාලයක් ගත වී ඇති නිසාත්, තමන් ඇතුළු අනිකුත් නිලධාරින් රාජ්‍ය නායකයන් පිළිගැනීමේ
අවස්ථාවලට සහභාගි වී ඇති නිසාත්, හමුදා නිලධාරීන් සෑමවිටම රාජ්‍ය නායකයන් පිළිගැනීම
සඳහා සූදානමින් සිටින නිසාත් මෙම ජනරජ දිනය සඳහා විශේෂ සූදානමක් අවශ්‍ය නොවූ බවය.
නමුත් අනිකුත් රාජ්‍ය නායකයන්ට වඩා මෙවර
ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ පුද්ගලයා සුවිශේෂී පුද්ගලයෙකු වීමත්, එවැනි පුද්ගලයකු වෙත උත්තමාචාර පුද
කිරීමේ අවස්ථාව තමන්ට ලැබිමත් ගැන තමන්ට හැඟෙන ආකාරය පැහැදිලි කරන ලෙස
එන්.ඩී.ටී.වී. මාධ්‍යවේදියා වින්ග් කමාන්ඩර්වරියට කියා තිබිණි. එවිට ඇය පැවසුවේ නිල
ඇඳුම ඇද රාජකාරියේ නිරත වී සිටින විට සෑම රටකම රාජ්‍ය නායකයකු තමන්ට සුවිශේෂී
පුද්ගලයන් බවත් ඕනෑම රටක රාජ්‍ය නායකයකු වෙත තමන් විසින් දක්වන උත්තමාචාර එක හා
සමාන බවත්ය. නමුත් මෙම නිල ඇඳුම ඉවත් කර සාමාන්‍ය ඇඳුමින් සාමාන්‍ය කාන්තාවක වශයෙන්
කතා කළහොත් ඇමෙරිකානු ජනපතිවරයාට උත්තමාචාර දක්වන්නට ලැබිම ගැන තමන් ඉමහත්
ආඩම්බරයට පත් වන බවත් ඇය කියා සිටියාය.
එසේම ඇය මහත් අපහසුතාවට පත් වූයේ බැරක් ඔබාමා ජනපතිවරයාට
උත්තමාචාර දැක්විය යුත්තේ තමන් බව ප්‍රකාශයට පත් කළ මොහොතේ නොව, මෙම අවස්ථාව මුළු
ලෝකය පුරාම සජීවී ලෙස විසිරුවා හරිනු ලබන බව දැනගත් මොහොතේ බව ඇය වැඩි දුරටත් කියා
තිබිණි. ඒ මන්ද යන්න මාධ්‍යවේදියා ඇසූ විට ඇය පවසා තිබුණේ “එකම වෙලාවක මුළු ලෝකෙම
මං දිහා බලාගෙන ඉද්දී මම ඒක කොහොම ඉවසන්නද ?” යනුවෙනි. කෙසේ වුවද ඇය සිය යුතුකම
අකුරටම ඉටු කර තිබුණේ මුළු මහත් ඉන්දියානු කාන්තා පරපුරම මහත් අභිමානයට පත් කරමිනි.
අවසන් වශයෙන් ඇය මාධ්‍යවේදියාට අනාගත
ඉන්දියානු කාන්තාව ගැනද යම් ඉඟියක් ලබාදී තිබුණේ මෙසේය.
“මම හමුදාවට එක් වනවිට මගේ පියා ඔළුවෙ අත ගසා ගත්තා. කිසිම
පිරිමියෙක් හමුදා නිලධාරිනියක විවාහ කර ගන්න කැමති නැති වේවි කියා බියට පත් වුණා.
මගේ අනාගතය ගැන බය වුණා. නමුත් මම එදා මගේ අනාගතය දැක්කේ හරියට වීදුරුවකින් එහා
පැත්ත දකිනවා වගේ. ඉන්දියානු කාන්තාවන් තවදුරටත් ගේ මුල්ලේ කාලය ගත කළ යුතුයි
කියලා මම හිතන්නේ නෑ. ඉන්දීය කතුන් ලෝකයේ සෙසු කතුන් අබිබවා පෙරමුණට පැමිණිය
යුතුයි. ඔවුන් පිරිමින්ට වඩා ශක්තිමත්, සිරුරෙන් නෙවෙයි, මනැසින්. ඒ නිසා මැරෙන්න
කලින් ජීවිතයට අර්ථයක් එකතු කර ගන්න උත්සාහ කරන්න” යනුවෙනි.
No comments:
Post a Comment