කෞතුක පෙම්පත
කාලය මොනතරම් වේගයෙන් ඉගිල ගියත් ආදරය, සෙනෙහස වගේ දේවල් වෙනස් වෙන්නේ නැති තරම්.
දරුණු යුද ගැටුම් සහිත පරිසරයක සිටිනා කෙනෙකුට වුණත් මෙවැනි හැඟීම් දැනෙන එකේ
වෙනසක් නෑ. අන්න ඒ කරුණ නිසා තමා යුද පෙරමුණුවල යුදවදිනා යුද සෙබළුන් පවා තම
පෙම්වතියන්ට ලිපි ලියන්නේ. මෙලෙස ලියන ඇතැම් ලිපි කිසිදිනෙකවත් තම පෙම්වතියන්ට
යවන්න නොලැබෙන අවස්ථා ඕනෑ තරම්. ඒත් පසුගිය දිනෙක සෙබළ පෙම්වතෙක් තම පෙම්වතියකට
යැවූ ලිපියක් මුළු ලෝකේම අවධානය දිනා ගත්තා.
මේ සෙබළ පෙම්වතා ඇමෙරිකානු
ජාතිකයෙක්. ඔහු තම ලිපිවල සටහන් තබා තිබෙන ආකාරයට ඔහුගේ නම චාර්ස්. චාර්ස් 1914
වසරේදී මේ ලිපිය ලියා තිබෙන්නේ ප්‍රංශයේ සිටයි. ඔහු ඇමෙරිකානු සෙබලෙකු ලෙස ප්‍රංශයේ
සහ බ්‍රිතාන්‍යයේ සේවය කර තිබෙනවා. කෙසේ වෙතත් දින වකවානු සැසඳීමේදී චාර්ස්
ඇමෙරිකානු බලකායක් සමග 1914 පළවෙනි ලෝක යුද්ධයට සහභාගි වූ බව වටහා ගැනීම අසීරු
නෑ.
චාර්ස් තම පෙම්වතිය යැවූ ලිපියක් කෞතුක භාණ්ඩ එකතු කරන්නෙකු අතට පත්ව
තිබෙනවා. ඔහු පසුගිය දිනෙක එම පෙම්පත බ්‍රිතාන්‍යයේ දී වෙන්දේසි කළා. මේ පෙම්පතට
එහිදී පවුම් 6000ක වාර්තාගත මිලක් ලැබි තිබෙනවා. මේ පෙම්පත මිලදී ගත් පුද්ගලයා එය
ඩේලි මේල් වබේ අඩවියට ලබා දීමත් සමග සියවසකට වඩා පැරණි මේ පෙම්පත ලක්ෂ ගණනක් දෙනා
අන්තර්ජාලය ඔස්සේ කියවා තිබෙනවා.
මෙම පෙම්පත චාර්ස් ලියා ඇත්තේ 1914දී බව වාර්තා
වෙනවා. ඔහු තම පෙම්වතිය අමතා ඇත්තේ ඇගේ නමින් නොව ච්ඥචප ට්ඪපත (ආදරණීය කෙල්ල)
යනුවෙනි. තම පෙම්වතිය අමතා චර්ස් යැවූ ලිපියේ “ඔබේ ආදරය මට බලාපොරොත්තුව ගෙන එනවා.
ඔබ මා වෙනුවෙන් කරනා යාඥා මා දිරිමත් කරනවා” යැයි සඳහන් වෙනවා. චාර්ස් මේ ලිපිය
ලියා ඇත්තේ එක විට නොවන බව වාර්තා වෙනවා. ලිපියේ එක තැනක “දැන් මා නතර විය යුතුය”
කියා තිබෙන අතර තවත් තැනක “ඉතින් කෙල්ලේ දැන් මම ලියන්නම්” යැයි සඳහන්ව තිබෙනවා.
ඇතැම් විට එය යුද්ධ කටයුතු සඳහා චාර්ස්ට තැනින් තැන යෑමට සිදුවූ නිසා විය
හැකියි.
පෙම්වතුන් පෙම්වතියන් අතර පෙම් හසුන්වල දමා යම් යම් සිහිවටන හුවමාරු වීම
අදටත් පවතින සිරිතක්. අදින් වසර 100කට පෙර චාර්ස් නම් යුද සෙබලා තම පෙම්වතියටත්
මෙවැනි සිහිවටනයක් ආදර හසුන තුළ බහා යවා තිබෙනව. පුදුමයකට මෙන් ඔහු යවා තිබෙනුයේ
පොපිමලක්. පොතක් වැනි දෙයක් තුළ දමා සකසා ගත් පොපිමල ඔහු ලිපිය තුළ බහා තම
පෙම්වතියට යවා තිබෙනවා.ඇකිලී පොඩි වී ගිය පොපිමල ලිපිය සමග වෙන්දේසි කර
තිබෙනවා.
පළවෙනි ලෝක යුද්ධයෙන් පසු සේවා මුක්ත භටයන්ගේ සුබසාධනය වෙනුවෙන්
පොපිමල් අලෙවිය ආරම්භ වුණා. ඒත් යුද්ධය පවතින අතරතුර පවා යුද සෙබළුන් තම ආදරය
සංකේතවත් කරන්නට පොපිමල යොදාගත් බව මින් තහවුරු වෙනවා.
වෙන්දේසියෙන් පවුම්
6000කට මේ පෙම්පත සහ පොපිමල මිලදීගත් පුද්ගලයා තම අනන්‍යතාව හෙළි කර
නැහැ.
එහෙත් මේ දුර්ලභ වස්තුව හිමි වීම ගැන ඔහු ඉතා සතුටින් සිටින බව වාර්තා
වෙනවා. නමුත් අදින් වසර 100කට පෙර මේ පෙම්හසුන ලද පෙම්වතියට ඇතිවූ හැඟීම කුමක්දැයි
කිසිවෙකුටත් වටහා ගත නොහැකි වූ බව නම් කිව හැකියි. එහෙත් ඇය මෙම ලිපියට යැවූ
පිළිතුරු ලිපිය හෝ ඇය කොහේ සිටියාද යන්න ලෝකයට රහසක්. අවම වශයෙන් ඇගේ නමවත් ලෝකය
දන්නේ නෑ.
ජංගම දුරකථන සහ පරිගණක භාවිතය නිසා නූතන පරපුරට පෙම්හසුන ආගන්තුක
දෙයක් බවට පත් වෙමින් පවතින වර්තමානයේ සියවසක් පැරණි පෙම්පතක් ඉහළ මිලකට අලෙවි වීම
හුදු කෞතුක භාණ්ඩයක් මිලදී ගැනීමට වඩා වෙනස් දෙයක් බවයි ඩේලි මේල් වබේ අඩවිය
වාර්තා කරන්නේ.
No comments:
Post a Comment