ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා ගිය සමනල රෑන් ගැන
කවි, සින්දු, කතාන්දර රැසක් තවමත් අප ජන සමාජයේ තිබේ. නමුත් මීට දශක කීපයකට පෙරාතුව
දක්නට ලැබුණු ඒ විශාල සමනල රෑන් අපේ දෑස් මානයෙන් ඈත්ව ගියේ කාලය හා සමගමය. පරිසරයට
දේදුනු වර්ණ එකතු කරමින් එහා මෙහා පියඹා යමින් අපගේ සිත්වලට සතුට රැගෙන ආ ඒ අහිංසක
සොඳුරු අමුත්තන්ට සිදුවූයේ කුමක්දැයි සොයා බලන්නට පවා අපට කාලයක් නොතිබුණසේය.
සමනලුන් මෙතරමකට අප අවට පරිසරයෙන් ඈත් වීමට අපගේම අනිසි ක්‍රියාකාරකම් හේතුවී තිබෙන
බව නොකියාම බැරිය. ශීඝ්‍රයෙන් කැලෑබද පරිසරයන් එළිපෙහෙළිවීම සේම අධික ලෙස කෘෂි
රසායනිකයන් අප අවට පරිසරයට එකතුවීම සමනලයන්ගේ වදවීමට ප්‍රධාන ලෙසම හේතුවී තිබේ.
ශ්‍රී පාද වන්දනාවේ යන බවට සමාජයේ ප්‍රචලිත සමනල කාණ්ඩයක්ද සිටිති. ශ්‍රීපාද කාලයට
මොව්හු වැල නොකැඩී ශ්‍රීපාදය දෙසට පියා සලන බවට අතීතයේ ජන විශ්වාසයක් පැවැතිණි. එහි
විද්‍යාත්මක සත්‍යයක් නොමැති වුවද එම ජන විඥානයේ කිසියම් කාව්‍යාත්මක සොඳුරු
අර්ථකථනයක් තිබේ. මෙසේ ශ්‍රී පාද වන්දනාවේ යන බවට ප්‍රචලිත වූ සුදු පැහැති Sri
Lankan Lesser Albatross (Appias galene) යන සමනලයා පරිසරයෙන් නොපෙනී යාමට හේතුව
උන්ගේ ධාරක ශාකය වන වීර ගස් පරිසරයෙන් කපා ඉවත් කිරීම බව පර්යේෂකයෝ හෙළි
කරති.
අපට පරිසරයේදී දකින්නට ලැබෙන අලංකාර සිනිඳු පිහාටුවලින් යුතු සුහුඹුල් සමනලයා බිහිවීමට පෙර ඌ බිත්තරයක්, දලඹුවෙක්, කෝෂගත අවස්ථාවන් පසුකර පැමිණිය යුතුය. ඌගේ මේ ජීවන චක්‍රය නිසි ලෙස සම්පූර්ණ කරගැනීමට හිතකර පරිසර තත්ත්වයන් පැවතුනහොත් පමණකි අපට සුහුඹුල් සතෙකු දැකිය හැකි වන්නේ මේ වන විට අවිධිමත් නාගරීකරණය හේතුකරගෙනද මේ සුන්දර සතුන් අපෙන් බොහෝ සේ ඈත්වී ඇති බව පර්යේෂණ මගින් හෙළිව තිබේ. අපගේම අනිසි ක්‍රියාකාරකම් හේතුකර ගෙන අපගෙන් ඈත්ව සිටින එසේම පරිසරයෙන් වදවෙමින් යන මේ සුන්දර සත්ව විශේෂය නැවත අපේ දෑස් මානයට රැගෙන ඒමේ පහසු අවකාශයක් තිබේ. ඒ සඳහා අපට කළ හැකි දේ බොහෝය. සමනලුන් නැවත පරිසරයට එකතු කිරීමෙන් අපට කුමන ප්‍රයෝජනයක්දැයි කෙනෙකු සිතන්නට පිළිවන. නමුත් අපගේ පරිසර පද්ධතියේ යහපත වෙනුවෙන් මේ සොඳුරු කුඩා සතුන් ඉටුකරන මෙහෙය අතිමහත්ය. කෘෂි බෝගවල ඵලදාව වැඩිකිරීමට පරාගණය නිසි පරිදි සම්පූර්ණ වීමට විශාල වැඩකොටසක් සමනලුන්ගෙන් සිදුවෙයි.
එසේම පරිසරයේ
සමතුලිත බව ආරක්ෂා කරදීමටද මේ සත්ව ප්‍රජාව පරිසරයේ සිටිය යුතුමය. එසේම ඉන් ඔබ්බට
ගියහොත් අද මේ පවතින කාර්යබහුල සමාජයේ ඉහළ ගොස් තිබෙන මිනිසුන්ගේ මානසික ආතති
තත්ත්වයන් සමනයටද සමනළ ප්‍රජාව උදව්කරගත හැකිය. වෛර්ණ පිහාටු හරඹකරමින් පියාඹා යන
මේ සතුන් සිතට ගෙනන සංහිඳියාවේ තරම මිල කළ නොහැකිය. එහි මනෝ වෛද්‍ය විද්‍යාත්මක
අගයක් ඇති බව ද පැවසේ. අප නිවසේ සුරතලුන් ඇති කරන්නේ අපගේ තනිකම කාන්සිය නැතිකර
ගැනීමට සේම සිතේ සතුටක් සංහිඳියාවක් ඇතිකර ගැනීමටය. නමුත් ඒ බොහෝ සුරතලුන් ඇතිදැඩි
කිරීමට සිදුව තිබෙන්නේ කූඩුකරගෙනය. නමුත් ඉතා නිදහස්ව සැරිසරමින් අපේ ගෙවතුවල
සුන්දර බව වැඩිකරන සමනලුන් නිසා සිතට දැනෙන සංහිඳියාව ඉතා ඉහළය.




No comments:
Post a Comment