මූලික මානව
අවශ්‍යතාවයන් අතර ආහාරයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඒ බැව් “ඡිගච්ඡා පරමා රෝගා”
මෙලොව භයානකම රෝගය බඩගින්නයි යන්නෙන් පැහැදිලිය. මානව සමාජයේ් පමණක්ම නොව සත්ව
සමාජයේද එය එසේම බැවිනි. මානවයා ආහාරයෙන් අනෙකුත්, සත්වයන් හා සමාන නොවන්නේ
බුද්ධිමය පරිකල්පනය නිසාවෙනි. මුල් ගෝත්‍රික සමාජයන් තුළ ද ආහාරය සම්බන්ධව ඇතිවූ
විවිධ හේතු සාධකයන් ශිෂ්ටාචාර බිහිවීම දක්වා ව්‍යාප්තවූ බව අප දන්නා කරුණකි. අප
මෙහිදී සාකච්ඡා කරන්නේ වත්මන් ආහාර රටාව කායික මානසික සුවතාවන් පිණිස හේතු වන්නේද?
එසේ නම් ඒ සඳහා බෞද්ධාගමික ආකල්පය කවරාකාරදැයි විමසීමකි.
වත්මන් පරිභෝජනවාදී ආර්ථික ප්‍රවාහය තුළ ශ්‍රී ලංකිකයන් ආහාරය පදනම් කොට විවිධ සෞඛ්‍ය අර්බුද රාශියකට මුහුණපා සිටීම කනගාටුදායක තත්ත්වයකි. මෙරට පවත්නා සියලුම මාධ්‍යයන් ද ඒ සඳහා විවිධ සාකච්ඡාවන් පැවැත්වුවද එයින්ම විවිධ ආහාර සම්බන්ධ රස තෘෂ්ණාව පෝෂණය කරනු විනා වෙනකක් නොවේ. එය ගඟට ඉනි කැපීමකට සමාන යැයි සිතේ. ආහාර සම්බන්ධ කවරාකාර මාධ්‍ය දැනුවත්වීම්, දැනුවත් කිරීම් සිදු කළත් ශරීරයේ විවිධ රෝගාබාධයනට එය අඩු කිරීමේ හැකියාවක් ලැබි නොමැති බව සමාජයේ මිනිසුන් දෙස අවධානය යොමු කිරීමෙන් දැකීමට පිළිවන. එපමණක් නොව සතිඅන්ත පුවත්පත්, වාර්තා වැඩසටහන් නැරඹීමෙන් වුව දැනුවත් කරනුයේ යහපත් සෞඛ්‍ය පුරුදු ජීවිතයේ දීර්ඝායු වින්දනයට හේතු වන බවකි. ඒ සඳහා විවිධ විශේෂඥ වෛද්‍යවරුන් ද විද්‍යුත් ගුවන් කාලයන් භාවිත කරමින් මේ සඳහා විවිධ සංකල්ප, අදහස් දක්වනු ලබන බව සියල්ලෝම දකිති, දනිති. නමුත් ආහාර නිසාම ඇතිවන මෙම සෞඛ්‍ය ගැටලු සඳහා විකල්ප යොදා ගැනීමේදී සියල්ලෝම අසමත්ව ඇති බව පැහැදිලිම කරුණකි.
ආහාරය සම්බන්ධව භව දුකට වෙදැදුරු වූ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළින් උගත හැකි දේ බොහෝය. ඒ සියලු දේ තුළින් පවසන්නේ තම ආහාර පාලනය තම සුඛ විහරණය පිණිසම වන බවක්ම පමණක් නොව දෙලොව සාර්ථක කරගැනීමටද එයම හේතුවන බවකි. සත්හට වන බව දුකට වෙද වූ බුදුරජාණෝ මෙම ආහාර සම්බන්ධයෙන් දේශනා කොට ඇත්තේ එහි ගිජු නොවිය යුතු බවකි. “..... ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා.....” කයෙහි පැවැත්මට, යැපීමට පමණක් හා ශරීර සුවපහසුව සඳහා ආහාර අනුභව කරන ලෙසකි. මුල් බුදු සමයේ බෝධිසත්ව අවදියේදී පටන් ආහාර සම්බන්ධ බෞද්ධ ප්‍රතිපදාව අධ්‍යයනය කළ හැකිවීම විශේෂත්වයකි. බෝධිසත්ව අවදියේදී සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සසර දුක් නිමාකොට බුද්ධත්වය නම් මහාර්ඝ ඵල සාධනය සඳහා යන ගමනේදී දන්දීමෙන්, සිල් රැකීමෙන් (ප්‍රතිපත්තියෙන්), දුෂ්කරක්‍රියා සමයෙන් වුව ද එකී ගැඹුරු යථාර්ථයන් පසක් කරනු සඳහා ආහාරයෙන් ප්‍රවේශසම් වූ බව විමසුම් අක්ෂියක් ඇති බෞද්ධ අබෞද්ධ ජනයාට දැකීමට පිළිවන. බෝධිසත්ව අවදියෙහි බෝසතාණන් තම අරමුණ වෙනුවෙන් “පවත්තඵල භෝගී” වෘක්ෂ මූලයට වැටෙන අහරම අනුභව කළ බවත්, එතුළින් කායික හා මානසික සුවයක් ලද බවත්, උන්වහන්සේම විවිධ අවස්ථාවන්හිදී කළ දේශනාවන්හි දැක්වේ. බුදු දහම ආහාර සම්බන්ධව දක්වන්නේ කෙබඳු සංකල්පයක් දැයි ආසන්නව හමුවන්නේ පිරුවානා පොත් වහන්සේ තුළ සාමණේර ප්‍රශ්නයේදී දැක්වෙයි. එනම් “ඒක නාම කිං?” ලෝකයේ පළමු ගැටලුව වන්නේ කුමක්දැයි විමසූවිට, “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යන මූලික අදහසෙනි. මෙලොව වසන සියලු සත්වයන්ගේම පැවැත්ම ආහාරයෙන්ම සිදුවන්නේ යැයි දැක්වීමෙන් ආහාර සම්බන්ධ මූලිකම පැහැදිලි කිරීමේදී සිදුකොට ඇත. එමෙන්ම ආහාරය මිනිස් දිවියේ ආයුෂය, වර්ණවත් බව, ශරීර සුවතාව ශරීර ශක්තිය හා අත්‍යවශ්‍යම ප්‍රඥාව මිනිසාට ලබාදීමට සමත්වෙයි.
එපමණක්ද නොව මෙලොව වසනා සත්වයන් ආකාර දෙකකින් ආහාර අනුභවය සිදුකරන ධර්මයේ වේ. එනම් මානසිකව හා භෞතිකවයි. මනසට අරමුණු ආහාර කොට සත්වයෝ ජීවත් වෙති “මනෝ පුබ්බංගමා ධම්මා....” යැයි දක්වන බුදුරජාණෝ මනසට නිවැරදි ආහාරක්ම දිය යුතුයැයි දක්වති. එය අතිශයින්ම වැදගත් ක්‍රියාවලියක් බැව් භාවනා සංකල්පය විමසුමෙන් ගම්‍ය වේ. බුදු දහම අවධාණය කරනුයේ භෞතික ආහාරයටද වඩා මානසික ආහාරය වැදගත් බවකි. එසේම මනසට වැරදි ආහාර රටා සසර දුක් පිණිසම හේතුවන බවත් දේශනා කොට ඇත. සංයුත්ත නිකායේ ආහාර වර්ගයෙහි පළමු ආහාර සූත්‍රයෙහි දක්වන්නේ සිව්වැදෑරුම් ආහාරයකි.
01. කබලිංකාර ආහාරය - (භෞතික ආහාරය)
02. ඵස්ස ආහාරය
03. මනෝසඤ්ච්ෙතනික ආහාරය- (මානසික ආහාරයන්)
04. විඥ්ඥාන ආහාරය
මිනිසාගේ පැවැත්මට භෞතික ආහාරය අත්‍යවශ්‍ය සාධකයක් බව එම සූත්‍රයෙහි මනාව දක්වා ඇත. එම ආහාරයම ක්‍රමිකව සසර පැවැත්ම දක්වා සූත්‍රයෙහි විග්‍රහය වෙයි. නිවැරදි භෞතික ආහාර නිසා සිරුරත්, නිවැරදි මානසික ආහාරය නිසාවෙන් මනසත් සෞඛ්‍ය සම්පන්න වන බව දේශනාවෙහිම තොරතුරු ඇත. නූතන මනෝ විද්‍යාවේ වුව මානසික ව්‍යාධීන් වැළදෙන්නේ වැරදි සහිත භෞතික හා මානසික ආහාර ක්‍රමයන් හේතුකොට ගෙන බව දැක්වේ. ක්ෂණික ආහාර රටා භෞතිකයත් මනසත් රෝගබාහුල්‍යය දක්වා පිරීහීමකට පත් කරන බව මූලික දේශනා අධ්‍යයනයෙන් පැහැදිලි කරගත හැකිවේ. මෙනිසාම අප ගන්නා ආහාරය දිවියේ සිතනවාටත් වඩා වැදගත් අංශයක් නියෝජනය කරන්නක් බව දැන් දැන් ඉතාම පැහැදිලිවේ.
එපමණක් නොව බෞද්ධයාගේ අත්‍පොත ලෙස සලකනු ලබන “ධම්මපද” කෘතියෙහිද ආහාරය සම්බන්ධයෙන් විවිධ දේශනාවන් උපමාවන් ලෙස ගෙන ගැඹුරු දම්පද විවරණය කර ඇතිබැව් දැකිය හැකිවේ. තමන් අනුභවයට ගන්නා ආහාරයෙහි ප්‍රමාණය ශරීර යාපනය පිණිස සිදුකළ යුත්තක් බව බුදුසමය අවධාරණය කරයි. ඉන් බුදු සමය කරුණු කිහිපයක් අවධාරණය කරයි. බුදුසමය පිළිගන්නා සත්‍යයකි මනුෂ්‍යත්වය අතිශය දුර්ලභ වූවකි යන්න. “කිච්චෝ මනුස්ස පටිලාභෝ...” කිසිසේත්ම බුදුසමය මිනිසා දේව නිර්මිතයක් ලෙස හෝ එවැනි බලවේගයක වහලෙකු ලෙස නොපිළිගනී. එසේ නොපිළිගැනීම හේතුකොටම මිනිසත් බව ලද සත්වයන් ආහාරයෙහි ඇලී ගැලීම බුදුසමය අවධාරණය කරන්නේ ප්‍රාථමික ක්‍රියාවක් ලෙසිනි.
ආහාරෙහි පමණ නොදන්නා ජීවිතයේ සියල්ල අවුලෙන් අවුලට පත් කරගන්නෙක් බව බුදුරජාණන් වහන්සේ දක්වා ඇත. ඒ බව සංයුත්ත නිකායෙහි කෝසල සංයුත්යෙහි දෝනපාක සූත්‍රයෙහි තොරතුරු වෙයි. “දිනක් බුදුරදුන් හමුවට පැමිණි කොසොල් රජු මහත්කොට ආහාර අනුභව කොට දැයි අපහසුවෙන් සුසුම් හෙළිමින් සිටියේය. එබැව් දුටු බුදුරජාණෝ මෙසේ දේශනා කළහ. “හැමකල්හිම සිහිඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ දුක් වේදනාවෝ තුනීවෙත්. අනුභව කළ ආහාර සමෛන් දිරවයි. ඉන් ආයුෂය රැකෙන්නේය.” පසුව මෙය සුදස්සන නම් තරුණයාට කටපාඩම් කොට එය රජු ආහාර අනුභව කරන විට දී සිහිපත් කරන ලෙසත්, ඒ සඳහා කහවණු සියයක් දුන් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රජු ඉතාමත් ශරීර පහසුතාවයක් ලද බවත්, තම අතින්ම ශරීර අවයව ස්පර්ෂ කළහැකි තත්ත්වයට පත්වූ බවත්, එම සූත්‍රයෙහි පැහැදිලි කොට දක්වා ඇත.
වෙළෙඳපොළේ කෙතරම් ක්ෂණික හා රසැති ආහාර පැවැතිය ද, වැඩ
බහුල සංකීර්ණ සමාජ ආර්ථික අධිපරිභෝජනවාදී සමාජයේ ව්‍යාධීන්ගෙන් පිරි පුද්ගලයෙකු
වනවාට වඩා හැම අතින්ම කට පරිස්සමෙන් දිවි ගෙවීමට හැකිනම්, ඒ පුරුදුතාව දූ දරුවන්ටත්
හුරුකළ හැකිනම් නිරෝගී සමාජයක් අපට අනාගතයේ හිමිවනු නො අනුමානය. සැප සතුට උදෙසා
ජීවිතයේ සියල්ල මිඩංගු කරන අප, විවිධ බටහිර නම් වලින් එන විවිධ ආහාර නිසා අනුභවයේදී
දිව පිනවීමෙන් සිදුවන්නේ ජීවිතයේ හොඳම කාලය වැයකොට දුක්සේ උපයාගත්, සොර සතුරන්ගෙන්
රැකගත්, සතුටින් දිවිගෙවීමටත්, යුතුකම් ඉටුකිරීමටත්, ඇති ධනය දුකසේ නැවතත් ලෙඩට
දුකට එන්නත් සඳහා වියදම් කිරීම නොවේද? එනිසා සැපසේ දුක් විඳීමට නොව, සැපසේ සැප
විඳීමට අද අදම බටහිර අහරෙන් වැළකෙමු. අපේ සිංහල ගැමි සුවඳ දෙන අපේම අහරෙන් පමණ දැන
තුටුවෙමු. ඔබ සෑමට “සුඛීදීඝායුකෝ භව.”
No comments:
Post a Comment