Thursday, March 5, 2015

සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරවන උතුම් පුර පසළොස්වක ‍පොහොය

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරවන උතුම් පුර පසළොස්වක ‍පොහොය

සම්බුදු සිරිත හා සම්බන්ධ සිදුවීම් රැසකින් ආලෝකවත් වූ මැදින්පුර පසළොස්වක ‍පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරවන උතුම් පුර පසළොස්වක ‍පොහොය දිනයකි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තම පියාණන් ඇතුළු ශාක්‍ය වංශික තම ඥාතීන්ට සද්ධර්මය අවබෝධ කරවීම සඳහා විසි දහසක් මහ රහතුන් සමග රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවර දක්වා වැඩම කිරීමට ගමනාරම්භ කළේ මැදින් පුර පසළොස්වක ‍පොහෝදාය.
සුද්ධෝදන රජු බුද්ධත්වයට පත් තම පුතණුවන් දැකබලා ගැනීමට බලවත් ආශාවෙන් පසුවිය. බුදුරදුන් තම මාලිගාවට වැඩම කරවාගෙන ඒම සඳහා දහස බැගින් වූ පිරිස සමග නව වතාවක් දූත පිරිස් බුදුරදුන් වෙත යැවීය. ඒ සියලු දෙනාම බුදුරදුන් වෙත ගොස් බණ අසා පැවිදි වූ බව සඳහන්වේ. පසුව සිදුහත් කුමරු උපන්දිනම උපත ලද එකල ඉතා මිත්‍රයෙකුව සිටි කාළුදායි නම් ඇමැතියා සමග බුදුරදුන් වැඩමවාගෙන ඒමට දහසක් පිරිස පිටත්කර යැවීය. ඔවුන්ද පැවිදි බවට පත්වූහ. කාළුදායි තෙරුන් බුදුරදුන් සමීපයේදී දිනක් මෙසේ ආරාධනා කර සිටියේය. “බුදුරදුනි ඔබගේ පියතුමා ඔබ වහන්සේ දැක බලා ගැනීමේ බලවත් ආශාවෙන් පසුවෙයි. තුරු ලතාවන්හි මල් පිපුණු, කෙත්වතු සරුසරාවූ මේ සමයේ පියතුමන් ඇතුළු ශාක්‍ය වංශික ඥාතීන්ගේ හිතසුව පිණිස කිඹුල්වත් නුවරට වැඩම කරන සේක්වා”

එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ විසි දහසක් වූ මහ රහතුන් සමග මැදින්පුර ‍පෝ දින කිඹුල්වත බලා ගමන ආරම්භ කළහ.
යොදුන් සැටක් මග ගෙවා කිඹුල්වත් නුවරට වැඩම කළ බුදු පාමොක් මහ සඟ පිළිගැනීමට ශාක්‍ය වංශික ඥාතීහු මගබලා සිටියහ. කුඩා දරුවන් බුදුරදුන්ට මල් දී වන්දනා කළ අතර අධිමානයෙන් යුතු වැඩිහිටි ශාක්‍ය වංශිකයෝ බුදුරදුන්ට වැඳීමට අදිමදි කළහ. එම ශාක්‍ය වංශිකයන්ගේ අධිමානය දුරු කිරීමට බුදුරදුන් එහිදී යමාමහ ප්‍රාතිහාර්ය පෑ බව සඳහන්වේ. එහිදී මහා වැස්සක් ඇදහැලුනු අතර ඒ නිමිති කරගෙන බුදුරදුන් වෙස්සන්තර ජාතක කතාව දේශනා කළේය. ශාක්‍ය වංශික ඥාතීහු එහිදී මානය දුරුකර බුදුරදුන්ට වන්දනා කළ අතර නිගේ‍රා්ධාරාමය නමින් ආරාමයක්ද කරවා පූජා කළහ.
පසුදා උදෑසන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු මහා සංඝරත්නය නුවරපුරා ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩින්නට වූහ. තම පුත්‍ර බුදුරදුන් පිඬු සිඟා  වඩින බව දැනගත් සුද්ධෝදන රජු “අපේ වංශයට මෙතරම් නින්දා කරන්නේ ඇයි ? අපේ වංශයේ කිසිවෙකු මීට පෙර සිඟා කා නැහැ ...” යනාදී වශයෙන් බුදුරදුන්ට දොස් නගන්නට වූ. එවිට බුදුරදුන් පිය රජු අමතා තමන් දැන් ශාක්‍ය වංශයේ නොව බුද්ධ වංශයේ බවත් පිඬු සිඟා යාම බුදුවරුන්ට සිරිතක් බවත් දේශනා කළ සේක. එහිදී බුදුරදුන් දෙසූ ධර්මය අසා රජු සෝවාන් ඵලයට පත්විය. බුදු පාමොක් මහ සඟනට පසුදා දානයට වැඩම කරන ලෙස රජු විසින් ආරාධනා කළේය.
පසුදින දහවල් දානයට වැඩම කළ බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට රජු විසින් දන් පිළිගැන්වීය. බුදුරදුන් විසින් රජ මාලිගයට පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළ සේක. එහිදී සුද්ධෝදන රජු සකෘදාගාමී ඵලයට පත් විය. මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු පිරිස සෝවාන් ඵලයට පත්වූහ. එහිදී බුදුරදුන් තම අගසව් දෙනම ද සමග යශෝධරා දේවියගේ නිවසටද වැඩම කළහ. බුදුසිරි පතුළ පාමුළ කඳුළු සලමින් හඬා වැළපුණු ඇයගේ පතිදම් අගයමින් සඳකිඳුරු ජාතකය දේශනා කළ අතර ඇය එය අසා සෝවාන් ඵලයට පත් වූවාය.
බුදුරජාණන් වහන්සේ විසින් මහා ප්‍රජාපති දේවියගේ පුත් නන්ද කුමරු ද තම පුත් රාහුල කුමරු ද පැවිදි කරවීය. පියගුණ අගයමින් මහා ධර්මපාල ජාතකය දේශනා කොට සුද්ධෝදන රජු අනාගාමී ඵලයට පත් කරවීමට මග සැලසීය. පියරජුගේ ඉල්ලීමක් මත දෙමව්පියන්ගේ අවසර නොමැතිව දරුවන් පැවිදි නොකරන ලෙස විනය නීතියක්ද පැනවීය. එමෙන්ම ආනන්ද, භගු, කිම්බිල, අනුරුද්ධ, දේවදත්ත යන රාජ කුමාරවරු ද උපාලි නම් කපුවා ද පැවිදි කරවා කිඹුල්වත්පුර ගමනින් සිදුකළ ලෝක ශාසනික සේවාව අතිමහත්ය.
සම්බුදු සිරිතෙහි අසිරිමත් සිදුවීම් රැසකින් ආලෝකමත් වූ මේ උතුම් මැදින් පුර ‍පොහෝදා දාන, සීල, භාවනා ආදී පිංකම් තුළින් ඔබේ දිවියත් ආලෝකමත් කර ගන්න.

No comments:

Post a Comment