විර්තාමුල්ලේ ගමගේ දොන් ප‍්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් උපන්නේ බෙලිඅත්තේ තදාවත්ත ප‍්‍රදේශයේය. තරුණ වියට පැමිණීමත් සමගම ප‍්‍රදේශයේ මුදලිවරයාගේ ලියනඅප්පු රස්සාව බාරගත් ඔහු තම ස්වාමියාට බොහෝ සේ ගරු සරු දක්වමින් හැකි උපරිමයෙන් රස්සාව කරගෙන ගියේය.
‘‘මුදලි තුමා, මාවත් ආණ්ඩුකාර උත්තමය ගාවට එක්කගෙන ගිහින්, මටත් ආණ්ඩුවේ රස්සාවක් අරගෙන දෙන්නකො’’ ලියන අප්පු, හැමදාමත්, මුදලිට කරදර කළේය.
‘‘මුදලි තුමා, මාවත් ආණ්ඩුකාර උත්තමය ගාවට එක්කගෙන ගිහින්, මටත් ආණ්ඩුවේ රස්සාවක් අරගෙන දෙන්නකො’’ ලියන අප්පු, හැමදාමත්, මුදලිට කරදර කළේය.
එවකට ලංකාවේ පහතරට ප‍්‍රදේශයේ පාලනය සිදුවුණේ ලන්දේසි ආණ්ඩුකාරයා යටතේය. උඩරට ප්‍රදේශ රාජාධි රාජසිංහ රජුගේ පාලනයට අවනතව තිබිණි. වර්ෂයක් ලෙස සඳහන් කළොත් ඒ 1740 තරම්ය.
‘‘යමුකො එහෙනම්..’’
තම ලියන අප්පුගේ කරදරයේ අවසානයක් නොමැති තැන මුදලි පැවසුවේය.
ප‍්‍රැන්සිස්කු, කොළඹ යන්නේ ඒ අනුවය.
ආණ්ඩුකාර කාර්යාලයට ගිය මුදලි ආණ්ඩුකාරවරයා මුණගැසී තම ලියන අප්පු ගැන සඳහන් කළේය.
පහතරට ලන්දේසි පාලනයට උදව් උපකාර කරමින්, ඔවුන්ගේම ආගම අදහන සිංහලයන්ට, ලන්දේසි ආණ්ඩුකාරයාගේ ලොකු පැහැදීමක් තිබිණි. විශේෂයෙන් බෙලිඅත්තේ මුදලි කෙරෙහි ඔහුගේ විශ්වාසයද ඉහළය.
ප‍්‍රැන්සිස්කු තමා හමුවට කැඳවාගත් ආණ්ඩුකාරයා, ඔහු සමඟ කළ කතාවෙන් ඒ බව පැහැදුණේය. අන්තිමේදී කොළඹ වරායටත් අලි වෙළෙඳාමටත් සම්බන්ධ සුළු රාජකාරියකට ප‍්‍රැන්සිස්කුට පත්වීමක් ලැබිණි.
බෙලිඅත්තෙන් කොළඹට ආ ප‍්‍රැන්සිස්කු කොල්ලූපිටියෙන් ගෙයක් සොයාගත්තේය.
මේ වනවිට ලංකාවේ බොහෝ ප්‍රදේශ වනගතව පැවතියේය. අද ජනාකීර්ණව පවතින අවිස්සාවේල්ල සීතාවකසේම ගාල්ල හා මාතර පවා බොහෝ ප්‍රදේශ පැවතියේ වනගතවය. මේ වනගත ප්‍රදේශ වල්අලින්ගේ රාජධානි බවට පත්ව තිබිණි.
මේ නිසාම ලංකාවේ අලි අල්ලා එතෙරට පැටවීම ලන්දේසි ආණ්ඩුව කාලයේ රජයට ආදායම් ලබාදුන් වෙළෙඳාමක් බවට පත්ව තිබිණි. ප‍්‍රැන්සිස්කු සේනාරත්න ද කොල්ලූපිටියට වී මේ අලි වෙළඳාම පිළිබඳ විවිධ කටයුතුවල නිරතව සිටියේය.
බබානෝනා හාමිනේ ඔහුගේ ඇසගැසුණේ ඔන්න ඔය කාලයේය. එවක පාසල් පවත්වා ගෙන ගියේ පල්ලියෙනි. මේ පල්ලියේ පාසලක උගැන්වීම් කටයුතු කරගෙන ගිය හුරුබුහුටි ගුරුතුමිය දුටුවිට ප‍්‍රැන්සිස්කුගේ පෙම් හැඟීම් අවදිවිය.
කකුල්දෙකම වැහෙන දිගු සායත් පපුව සහ දෑත මුළුමණින්ම වැසී තිබුණු කබාකුරුත්තාවක් ඇඳ සිටි මේ තරුණිය ප‍්‍රැන්සිස්කුට රසඳුනක් විය.
මුලින් මුලින් ඇය පාසලට යන හැටි දුරතියා බලාගෙන සිටි ප‍්‍රැන්සිස්කු අවසානයේ ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කළේය.
බබානෝනා හාමිනේගේ කැමැත්ත ද ඔහුට ලැබුණේ ඔහු ආණ්ඩුවේ සේවය කිරීම නිසාමය. මෙකල ආණ්ඩුවට සම්බන්ධ කරන රස්සාවලට හිමිව තිබුණේ ලොකු පිළිගැනීමකි. ගැහැනියකට දුකක් නැතිව ජීවත්වීමට නම් ඇගේ සැමියා ආණ්ඩුවේ රස්සාවක් කළ යුතුය යන පිළිගැනීමක් මෙකල පැවතිණි.
ඉතින් ප්රැන්සිස්කුගේත් බබානෝනා හාමිනේගේත් විවාහය අලංකාරවත් ලෙස සිදුවිය. ප‍්‍රැන්සිස්කුගේ කොල්ලූපිටියේ ගෙදර තිබුණු හුදෙකලාව මේ සුන්දර ගුරුවරිය නිසා තුරන් වී ගියේය.
වැඩිකල් නොයාම මේ ගෙදරින් කිරිකැටියකුගේ හැඬීම ඇසිණි. දවසින් දවස ආදරයේ සුන්දරත්වය මැද දවස් ගෙවීගිය අතර ප්රැන්සිස්කුටද දරුවන් පස්දෙනකුගේ ආදරය විඳින්නට ඉඩ ලැබිණි. මේ දරුවෝ අම්මා ඉගැන්වීම් තුළ පාසලෙන්ම මූලික අධ්යාපනය ලබාගන්නට තරම් වාසනාවන්ත වූහ.
මොවුන් බම්බලපිටියේ මිලාගිරිය පල්ලියේදී බෞතීස්ම කෙරුණේ ඔවුන් ඇදහූ මේ ක්‍රිස්තියානි ආගම වූ නිසාය.
කරතොට ධර්මාරාම හිමි වාසය කළ ගොඩනැගිල්ල
|
ප‍්‍රැන්සිස්කු සේනාරත්නගේ දෙවැනි දුව 1759 අවුරුද්දේ දී බෞතීස්ම කෙරුණේ දෝන ඉසබෙලා කොර්නේලියා යන නමිනි.
මෙන්න මේ දෝන ඉසබෙලා යනු පසුකලෙක අපේ රටේ අතිශය ජනප‍්‍රිය චරිතයක් බවට පත්වූ කාන්තාවකි. අද මෙසේ ඇය ගැන ලියවෙන්නේ ඇත්තටම ඇය චරිතයක් බවට පත්වුණු නිසාමය. ඉතින් ඇය ගජමන් නෝනා ලෙස රට පතළ වූ කාන්තාව බව තව දුරටත් නොකියා නොසිටිමු.
ගජමන් නෝනාගේ වයස අවුරුදු දාහතරට කිට්ටුවෙද්දී ඇගේ පියාවූ ප‍්‍රැන්සිස්කුට රස්සාවේ උසස්වීමක් ලැබිණි. ගජමන් ආරච්චි ලෙසද හැඳින්වුණු මේ තනතුරත් සමඟම ප‍්‍රැන්සිස්කුට මාරුවීමක්ද ලැබිණි. ඒ අනුව මාතරට ගිය ඔහු කොල්ලූපිටියෙන් ගියේ තම දරු පවුලද කැඳවාගෙනය. මාතර දිස්ති‍්‍රක්කයේ අලි ඇල්ලීමේ සහ හීලෑ කිරීමේ කටයුතු බාර නිලයේ ප්‍රධානත්වය ප්රැන්සිස්කෝට දරන්නට සිදුවිය. එසේම කහවත්ත තෝම්බුවද බාරකෙරුණේ ඔහුටය.
යළි උපන් ගමට පැමිණීමේ සතුට හදපුරා භුක්ති විඳි ඔහුට පත්තායමේ ලේකම්ගේ ඇසුරද ලැබිණි. තම ඥාතියකු වූ ඔහු ඒ වනවිට ප‍්‍රදේශයේ පත්තායම් හෙවත් වීගබඩා පහක් බාරව සිටියේය.
මොහු ලන්දේසි ආණ්ඩුවේ අනෙකුත් නිලධාරීන් මෙන් නොව හොඳට සිංහල භාෂාව ඉගෙනගෙන සිටියේය. කාව්යය ශාස්ත්‍රයටද කුසලතා දැක්වූ හෙතෙම සිංහල උගත්තේ රුහුණු පුරවරයේ පමණක් නොව උඩරට රාජ්යයේද නම පතළ වූ උගත් පඬිරුවනකගෙනි. ඒ කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගෙනි.
පත්තායමේ ලේකම් ප‍්‍රැන්සිස්කු සේනාරත්නගේ දරුවන් කෙරෙහි විශේෂ සෙනෙහසක් දැක්වීය. මේ අතුරින්ද ඔහුගේ හිතගත්තේ හුරුබුහුටි ගැහැනු දරුවාය. සිංහල භාෂාවට මෙන්ම කාව්‍ය රචනයටද ඇල්මක් දැක්වූ ඇය ළංකරගෙන තමා දන්නා සිංහලත් කාව්‍ය ශාස්ත්රයත් ඇයට උගැන්වීම පත්තායමේ ලේකම්ට සතුටක් විය. එහෙත් ඔහු දන්නා ශාස්ත‍්‍රය මදිබව වටහාගත් පත්තායමේ ලේකම් ප‍්‍රැන්සිස්කු හමුවී ඔහුට ඉදිරිපත් කළේ අපූරු යෝජනාවකි.
”මේ කෙල්ල ඉගෙනීමට බොහොම දක්ෂයි. කවියටත් බොහොම කැමැත්තක් තියෙනවා. කරතොට හාමුදුරුවො ළඟට යවල උගන්න ගත්තා නම් රට පතළ කවිකාරියක් කරගන්න තිබුණා.”
ප‍්‍රැන්සිස්කු තම ඥාතියා දෙස බැලූවේ විසල් කරගත් දෑසිනි.
”කරතොට උන්නාන්සේ ගෑනු දරුවන්ට උගන්වන්නෙ නෑ නොවැ පත්තායමේ ලේකම්...”
”ඒකනම් එහෙම තමා. ඒත් මේ කෙල්ල තාම පොඩි නිසා කොණ්ඩෙ කපල පිරිමි ඇඳුම් අන්දලා ගත්තොත් කෙල්ලක් කියලා අඳුනගන්න අපේ හාමුදුරුවන්ට බැරිවෙයි...”
ප‍්‍රැන්සිස්කු සේනාරත්න තම දරුවා දෙස බැලූවේය. තවමත් වැඩිවියට පත්නොවූ බැවින් ඇගේ ළය පෙදෙසද උස්ව තිබුණේ නැත.
”අපි එහෙනම් එහෙම කරමු, හැබැයි හාමුදුරුවො රහස දැනගත්තොත් නම් විනාශයක් වෙන්නෙ.”
”අපි කෙල්ලට කියමු පන්සලේදී කොල්ලෙක් වගේ ඉන්න කියල.”
පත්තායමේ ලේකම් කීවේය. ප‍්‍රැන්සිස්කු හිස වැනුවේය. කොර්නේලියා තමන් වෙත කැඳවූ පත්තායමේ ලේකම් දරුවාගේ හිස අතගා ළඟට ගත්තේය.
‘‘දුව ආසයි නේද කාව්‍ය ශාස්ත‍්‍රය පරතෙරටම ඉගෙනගන්න.’’
කෙල්ල සතුටින් ඔව් කීවාය.
‘‘ඒත් මම නම් ඒ ගැන මහා ගොඩාක් දන්නෙ නෑ. මමත් ඉගෙනගත්තෙ කරතොට හාමුදුරුවන්ගෙන්.’’
‘‘ඉතින් මාවත් ඒ හාමුදුරුවො ළඟට යවන්න මාමෙ.’’
‘‘පොඩි ප්‍රශ්නයක් තියෙනවා දරුවො... ඒ හාමුදුරුවො ගෑනු ළමයින්ට උගන්නන්න බාරගන්නෙ නෑ. ඔයා යනව නම් යන්න වෙන්නෙ කොල්ලෙක් වගේ පිරිමි වෙස් අරගෙන.’’
”ඉතින් මාමෙ මම කොල්ලෙක් වගේ ඉන්නම්.”
කොර්නේලියා කීවාය.
පත්තායමේ ලේකම් ප‍්‍රැන්සිස්කු දෙදෙනා බබා නෝනා හාමිනේගේද සහය ඇතිව, කෙල්ලට කොල්ලකුගේ වෙස් ගැන්වීම ආරම්භ කළෝය.
කරතොට ධර්මාරාම හිමි වැඩවාසය කළේ මාතර, වේරගම්පිට රජමහා විහාරයේය. ගජමන් නෝනා සොයා ගිය ගමනෙහි එක් නැවතුමක් ලෙස අපි වේරගම්පිට රජමහා විහාරය තෝරාගතිමු. එහි විහාරාධිකාරී තෙලූල්ලේ නන්දාලෝක හිමියන් අප එහි යනවිට පන්සලේ වැඩසිටියහ.
හාමුදුරුවනේ, අපි ආවෙ කරතොට ධර්මාරාම හාමුදුරුවෝ ගැන තොරතුරු සොයාගෙන.
නන්දාලෝක හිමියන්ට මම පැවසුවෙමි.
කරතොට හාමුදුරුවො වැඩසිටියේ රාජාධිරාජසිංහ රජ්ජුරුවෝ උඩරට පාලනය කරන කාලෙ. මේ කාලෙදී කරතොට හාමුදුරුවෝ රජ්ජුරුවන්ට හසුනක් යැව්වා උඩරට පහතරට දෙකේම නායකත්වය තමන්ට පවරාදෙන ලෙස ඉල්ලමින්.
නමුත් මෙතෙන්දී සිදුවුනේ හාමුදුරුවො පවා නොසිතුව දෙයක්. රජු උදහස් වුණා. රජ්ජුරුවන්ගෙ උදහස කොයිතරම් ප‍්‍රබල වුණාද කියනවා නම් රජ්ජුරුවෝ කළේ වහාම හාමුදුරුවන්ව කන්ද උඩරට රාජධානියෙන් පිටුවහල් කිරීමයි.
ඒ නිසා කරතොට හාමුදුරුවෝ තමන් මුල් පන්සලට වැඩම කළා. ඒ පන්සල තමයි වේරගම්පිට රජමහා විහාරය.
කුමාරදාස රජ්ජුරුවන්ගෙ කාලෙදී කරවපු මේ පන්සල පස්සෙ නටබුන් බවට පත්වෙලා තිබුණා. මහ කදුරුපොකුණේ සුවන්නජෝති හාමුදුරුවොයි මේ පන්සල නැවත ආරම්භ කළේ. ඒ වෙද්දී වෙහෙරක නටබුන් තිබුණු නිසා වෙහෙරගම්පිට කියන නමයි මෙතනට භාවිත වුණේ. ඒ අනුව වේරගම්පිට කියන නම මේ පන්සලට ලැබුණා.
කලින් කිව්ව සුවන්නජෝති හාමුදුරුවන්ගෙ ප‍්‍රධාන ගෝලයා තමයි කරතොට ධර්මාරාම හාමුදුරුවො.
හිත් වේදනාවෙන් මේ පන්සලට වැඩම කරපු කරතොට හාමුදුරුවො අපූරු වැඩක් කළා. ඒක තමයි බාරස නමින් කාව්‍යයක් රචනා කිරීම. මේ කාව්‍යය බැලූ බැල්මටම ප‍්‍රහේලිකාවක්. ඉතින් මේ ප‍්‍රහේලිකා කාව්‍යය කරතොට හාමුදුරුවො රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ට යැව්වා.
ඒත් මේ ප‍්‍රහේලිකාව තේරුම් ගන්න තරම් හැකියාවක් රජ්ජුරුවන්ට තිබුණෙ නැහැ. පස්සෙ රජ්ජුරුවො උඩරට රාජධානියේ හිටපු උගත්තුන්ට, බුද්ධිමතුන්ට මේ කාව්‍ය පෙන්නලා තේරුම ඇහුවා. ඒත් කාටවත්ම මේක තේරුම්ගන්න පුළුවන්වුණේ නැහැ. ඔන්න දැන් රජ්ජුරුවො පැරදිලා. එයා වහාම කළේ කරතොට හාමුදුරුවන්ව පිටුවහල් කළ රාජ නියෝග අවලංගු කිරීම. රාජ දූතයන්ව වේරගම්පිට විහාරයට පිටත්කරලා දෝලාවකින් උන්වහන්සේව රජමැදුරට වැඩම කෙරෙව්වා.
උන්වහන්සේගෙ දෙපාවැඳලා, සමාව අරගෙන බාරස කාව්‍යය තේරුම් කරදෙන්න කියලා කාරුණික ඉල්ලීමක් කළා.
කරතොට හාමුදුරුවෝ ඒ කාව්‍යය තේරුම් කරලා දුන්නට පස්සේ රජ්ජුරවො පණ්ඩිත ශිරෝමණී කියන ගෞරව උපාධියත් සමග සංඛපාල විහාරයේ ඒ ආශි‍්‍රත පල්ලෙබැද්ද නින්දගමත් පූජා කළා. ඒ වගේම පහතරට නායක පදවියටත් කරතොට හාමුදුරුවන්ව පත්කළා.
නමුත් මේ නායක හාමුදුරුවන් වැඩවාසය කළේ වේරගම්පිට රජමහා විහාරයේ ඉදිකරන ලද කුඩා ආවාස ගෙයකය. කාමර හතරකින් පමණක් යුතු මේ කුඩා ආවාස ගෙයි කරතොට හිමි වැඩසිටි කාමරයද අල්පේක්‍ෂක්‍ය එකකි. හැබැයි එදාට සාපේක්‍ෂව මේ ආවාස ගෙය සැපපහසුකම්වලින් පිරුණු එකක් විය යුතුය. මන්දයත් උළු සෙවිලි කළ නිවෙස් මේ යුගයේ නොතිබූ නිසාය. රජ සහ රජුගේ මැති ඇමැතිවරුන් හැරුණු විට උළු සෙවිලි කරන්නට අවසර ලැබුණේ පන්සල්වලට පමණක් නිසාය.
කරතොට හාමුදුරුවෝ තම ආවාසගෙහි වැඩසිටි එක් දවසක පත්තායමේ ලේකම් සහ කහවත්ත තෝම්බුවේ මුලාදැනි තැන හුරුබුහුටි කොලූ පැටවකුද කැඳවාගෙන පන්සලට පැමිණියහ.
හාමුදුරුවන්ගේ දෙපා නැමද එකත්පස් වූ පත්තායමේ ලේකම් දෙස කරතොට හාමුදරුවන් හෙළුවේ විමසුම් බැල්මකි.කොහොමද ලේකම් දැන් ඔහේ කාව්‍ය ශාස්ත‍්‍රය එහෙම දිගටම කරගෙන යනවාද?
කරතොට හාමුදුරුවෝ තම පැරැුණි යාළුවාගෙන් විමසූහ.
‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ’’
පත්තායමේ ලේකම් කීවේ බොහෝ ගරු සරු ඇතිවය.
‘‘ඒ වුණාට මම නම් මෑතකදී ඔහේගේ කාව්‍යයක් දැක්කෙ එහෙම නෑ.’’
‘‘එහෙමයි.’’
‘‘පත්තායමේ ලේකම් කීවේ මද සිනා ඇතිවය.’’
‘‘එහෙමයි කියල බෑ ලේකම්, සත්‍ය අසත්‍ය හැමවෙලාවෙම තියෙන්න ඕනේ ලේකම්. එහෙම නොවුනොත් කාව්‍ය ශාස්තරේ නිකම්ම අමතක වෙනවා.’’
”එහෙමයි’’
”එහෙමයි’’
කාව්‍ය ශාස්ත‍්‍රය කියන්නෙ බොහොම වැදගත් එකක්. දැන් බලන්න මම ලියපු බාරස කාව්‍ය නිසානෙ මම රාජ උදහසින් ගැලවුණේ. පහතරට නායක තානාන්තරේට පත්වුණේ. පල්ලෙබැද්ද නින්දගම සංඛපාල විහාරය මේ කියන හැමදේම ලැබුණෙ. කරතොට හාමුදුරුවෝ ආඩම්බරයෙන් කියාගෙන ගියහ.එහෙමයි අපේ හාමුදුරුවනේ.
පත්තායමේ ලේකම් කීවේය.
‘‘හොඳයි දැන් කියමු බලන්න මොකද මේ හදිස්සියෙම මේ පැත්තෙ ආවෙ කියලා. කව්ද මේ දරුවා කියලා.’’
හාමුදුරුවෝ විමසූහ.
‘‘අවසර අපේ හාමුදුරුවනේ මේ ඉන්නෙ කහවත්ත තෝම්බුවේ මුලාදෑනි ෆ‍්‍රැන්සිස්කු සේනාරත්න. මේ ඉන්නෙ මෙයාගෙ පුතා. මගෙත් ළඟම නෑයෙක්.’’
පත්තායමේ ලේකම් එසේ කියා හාමුදුරුවන්ගේ මුහුණ බැලූවේය.
කරතොට හාමුදුරුවෝ ඒ දරුවාගේ නිකටට අතතබා බිමට හැරුණු මුහුණ ඔසොවා බැලූහ.
‘‘ඉතිං ඉතිං මොකක්ද දැන් මගෙන් කෙරෙන්න ඕන. මං ලව්වා උගන්නගන්නද ඕනෙ.’’
‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට තේරුණා.’’
කරතොට හාමුදුරුවන්ගේ සොහොන
|
‘‘මට නම් විවේකයක් නැහැ. ඒත් ඉතින් ලේකම්ගෙ ඉල්ලීම කොහොමද ඉවත දාන්නෙ.’’
හාමුදුරුවෝ මදක් කල්පනාවේ නිමග්න වූහ.
‘‘ඉතිං ලේකම්ට පුළුවන්නෙ උගන්නන්න. මොකද ලේකම් දක්සය කියල මං දන්නවනේ.’’
‘‘අවසර අපේ හාමුදුරුවනේ, මේ දරුවට මගෙන් ශිල්ප ලැබුණා. නමුත් දැන් මට උගන්වන්න දෙයක් ඉතිරිවෙලා නෑ. ඉතිරි කොටසයි අපේ හාමුදුරුවන්ගෙන් කෙරෙන්න ඕනෙ.
”ඔව්.... ඔව්.... එහෙමනම් හවසට හවසට දරුවාව එවමුකො. සපුගොඩ පන්සලේ සාමනේර නමකුත් හවසට එනවනෙ. දෙන්නටම එකට ශිල්ප දෙන්න බැරියැයි.’’
නායක හාමුදුරුවෝ කීහ.
පත්තයාමේ ලේකම් ෆ‍්‍රැන්සිස්කු සහ කොර්නේලියා පිටව ගියේ සතුටිනි.
‘‘හැබැයි දුවේ, ඔයා කෙල්ලක් බවනම් හාමුදුරුවන්ට අඟවන්න එපා. කොල්ලෙක් වගේම හැසිරෙන්න පරෙස්සම් වෙන්න ඕනෙ. නැත්නම් මටයි බැණුම්.’’
පත්තායමේ ලේකම් නැවත වතාවක් කොර්නේලියාට කීවේය.
ඇය හිස සැලූවේ මද සිනා මුවෙහි ඇතිවය.
ඊට පසුදා පටන් කොර්නේලියා, කොරනේල්ස් සේනාරතන වී වේරගම්පිට පන්සලට ගියාය. කරතොට හාමුදුරුවන්ගෙන් සිංහලත් කාව්‍ය ශාස්ත‍්‍රයක් මොනවට උගත් ඇය පත්තායමේ ලේකම් සමග තරගෙට කවි ලිව්වාය.
ඇය සමග වේරගම්පිට පන්සලේදී අකුරු කළ ඇලපාත ධම්මරත්න සාමනේර හාමුදුරුවෝද කවියටත් ඉගෙනීමටත් දක්‍ෂකම් පල කළහ. මේ නිසා කොර්නේලිස් ධම්මරතන හාමුදුරුවෝත් තරගයට මෙන් කවි නිර්මාණ කරන්නට වූහ.
පොඩි හාමුදුරුවෝද ගැහැණු ළමයකුගේ බඳු ලද බොළඳ පෙනුමක් ඇති ‘‘කොර්නේලිස්’’ සමග මිතුරු වූහ.
මම ඉන්නෙ කඹුරුපිටියෙ සපුගොඩ පන්සලේ සාමනේර හාමුදුරුවෝ කීහ.
‘‘වෙලාවක ඔයත් එන්න මගෙත් එක්ක පන්සලට යන්න.’’
‘‘හොඳයි හාමුදුරුවනේ මම එන්නම් ‘‘කොරනේලිස්’’ ගැහැණු ළමයෙකුගේ හඬින් කීය.
අන්න ඒ සපුගොඩ පන්සලට අප ගියේ ඇලපාත ධම්මරතන සාමණේර හාමුදුරුවන් ගැන තොරතුරු සොයන්නටය.
සපුගොඩට ආසන්නව ලස්සන වෙල් යායක් අසබඩ පිහිටා ඇති මේ පන්සලේ පිරිවෙණ මාතරටම ප‍්‍රසිද්ධ එකකි.
පන්සල පාරෙනුත් පාරට යාබද දොල පාරකින් දෙකට බෙදී තිබේ.
එහා පැත්තෙහි පිහිටා ඇත්තේ දේවාල සංකීර්ණයක් නිසා මේ බෙදීම බරපතළ බෙදීමක් ලෙසද නොපෙනේ. මෙහා පැත්තේ විද්‍යානිකේත පිරිවෙණ, චෛත්‍යය සහ බුදුගෙය ඉදිකර තිබේ.
දෝන ඉසබෙලා කොර්නේලියා, බලන්නම ලස්සන ලමිස්සියක බවට පත්වූයේ බලන් ඉන්දැද්දීමය. තව දුරටත් ඇගේ රූසිරිය සඟවාගන්නට බැරිවූ තැන කරතොට හාමුදුරුවන්ගෙන් ශිල්ප හැදෑරීම නතර කරන්නට සිදුවිය එබැවින් ඇය ආපසු ගෙදරට කොටුවූවාය.
එහෙත් දකින දකින දේවල් ගැන විසිතුරු පද්‍ය නිර්මාණ බිහිකළ මේ යුවතිය ඉක්මනින්ම විවාහකරදිය යුතු බව ඇගේ පියා ප‍්‍රැන්සිස්කු තීරණය කළේය.
ඔහු තම බිරිඳ සමගත් කතාකර දුවට හොඳ තැනකින් පෙළවහක් කරදෙන්නට සැලසුම් කළේය.
”අපේ තල්පෙ මුහන්දිරම් නම් ඉන්නවා. මිනිහා තාම බැඳලත් නැහැ. අනික මිනිහා හැඩකාරයා. මට හිතයි නෝනෙ අපේ කෙල්ලව මුහන්දිරම්ට හදිගස්සන්න.” ප‍්‍රැන්සිස්කු බිරිඳ සමග කීවේය.
”මුහන්දිරම් කෙනෙක් නම් නරක නෑ තමයි, එයා අපේ කෙල්ලට කැමති වෙයිද අනේ’’
”මොකදෑ නැතුව අපේ කෙල්ල වගේ සුන්දරියක් මේ අහල ගම් හතේවත් ඉන්නවද නෝනෙ.” ප‍්‍රැන්සිස්කු කීවේ ප‍්‍රීතියෙන් සිනාසෙමිනි.
ඇත්තටම කොර්නේලියා තරම් හැඩකාර කෙල්ලක් අහල ගම් හතේම සිටියේ නැත. කබාකුරුත්තාවත් කකුල් දෙකටම දිග සායත් ඇන්දාම පසුව ඇගෙන් පෙනුණේ අපූරු ලස්සනකි.
”මම හෙට අනිද්දාම මුහන්දිරම්ට මගේ යෝජනාව ඉදිරිපත් කරන්නම් කො.”
ප‍්‍රැන්සිස්කු සේනාරත්න තම නිවෙසින් නික්ම ගියේ බිරිඳට එසේ පවසමිනි.
ඉනික්බිතිව තල්පේ මුහන්දිරම් තම නිවෙසට කැඳවූ ප‍්‍රැන්සිස්කු තම සුන්දර දියණිය මුහන්දිරම්ට හදිගැස්සුවේය.
මේ රූමතිය දුටුවිට මුහන්දිරම්ට සිතුණේ ඒ මොහොතේම තම බංගලාවට ඇය කැඳවාගෙන යන්නටය.
මේ කැමැත්ත නිසාම විවාහයේ කටයුතු ඉක්මනින්ම සිදුවිය. ඒ සමඟම ඉසබෙලා කොරනේලියා ගාල්ලේ තල්පේ පිහිටි මුහන්දිරම් වල්ව්වට කැඳවාගෙන යනු ලැබිණි. ඒ විවාහ මංගල්ලයද ඒ කාලයේ හැටියට සුපිරි උත්සවයක් විය. මුහන්දිරම් කෙනෙකුගේ මනාලිය මෙන්ම කහවත්ත තෝම්බුවේ මුලාදෑනිගේ දියණිය වීම වැනි කාරණා නිසා මේ මංගල්ලය අලංකාර උත්සවයක් ලෙස කිරීමේ කිසිම ගැටලූවක් නොවීය.
ඉතින් තල්පේ මුහන්දිරම් වලව්වට ගිය කොර්නේලියා පිළිබඳ තොරතුරු හොයන්නට අපි තල්පේට ගියෙමු. ගාල්ල වෑතර පාරේ තල්පේ හන්දියෙන් හැරුණ අපි මගදිගටම කරුණු විපරම් කළෙමු. මුහන්දිරම් වලව්ව පිහිටියේ කොහේදැයි ඇසුවත් කිසිවෙක් පරණ වලව්වක් මේ ප‍්‍රදේශයේ තිබෙන බවක්වත් තිබුණු බවක්වත් දැනසිටියේ නැත.
ඉස්කෝලෙ හාමුදුරුවො හම්බවුණානම් මහත්තයලට වැදගත් තොරතුරු ටිකක් දැනගන්න තිබුණ.
එක්තරා කඩයක සිටි මහල්ලෙක් පැවසුවේය.
අපි ඉස්කෝලෙ හාමුදුරුවන් සොයාගෙන තල්පේ පන්සලට ගියෙමු.
ඉස්කෝලේ හාමුදුරුවෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ සිටිනාමලූවේ සීලවංශ හාමුදුරුවන්ය. වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වන උන්වහන්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවයට සම්බන්ධව විවිධ වැඩ සටහන්ද ඉදිරිපත් කරති. මේ නිසා ගජමන් නෝනා පිළිබඳව උන්වහන්සේ සතුව ඇති තොරතුරු ප‍්‍රමාණයද අතිමහත්ය.
”මමත් තල්පෙ මුහන්දිරම්ගෙ තොරතුරු හෙව්ව මහත්තයො ඒත් කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණා. මුහන්දිරම් වලව්ව තිබුණෙ කෙහෙද කියන එකවත් මේ ප‍්‍රදේශයේ කිසිම කෙනෙක් දන්නේ නෑ. පරණ වලව්වක නටබුන්වත් මේ හරියෙ කොහෙවත්ම නෑ.”
”මුහන්දිරම්ගෙ නෑදෑයෝ කවුරුවකුත් දැන් නැද්ද එකකොට”
මම තවදුරටත් හාමුදුරුවන්ගෙන් ඇසුවෙමි.
ගජමන් නෝනාගේ නෑදෑයෙක්වත් ඉන්නවානම් ගජමන් නෝනා ගැනත් තල්පේ මුහන්දිරම් ගැනත් මොනවා හෝ දැනගත හැකි නිසාය.
”නෑ එහෙම කවුරුවකුත් ඉතුරුවෙලා නෑ”
අපට සිදුව ඇත්තේ හිස් අතින් ආපසු හැරෙන්නටය.
ගජමන් නෝනා අකුරු ඉගෙනගත්ත කොරතොට හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවන්ගේ චිත‍්‍රයක් නම් පෙන්නන්න පුළුවන්. මොකද ඒ හාමුදුරුවො තමයි මේ ප‍්‍රදේශයේ පන්සල් වල පුරෝගාමී හාමුදුරුවෝ. උන්වහන්සේ යළි කීහ.
අපි පොඩි හාමුදුරුවන්ගේ පිටුපසින් ධර්ම ශාලාවට ගියෙමු. සිටිනාමලූවේ ධම්මජෝති හාමුදුරුවන්ගේ ඡුායාරූපය උන්වහන්සේ අපට පෙන්වූහ.
”ඔය පත්තායමේ ලේකම් ඉගෙන ගෙන තියෙන්නෙත් මේ ධම්මජෝති හාමුදුරුවන්ගෙන්.”
තල්පෙන් නික්මුණු අපි ඊළඟට ගියේ දෙනිපිටියටය. දෙනිපිටියේ නුගරුක නම් වන කාව්‍යය මාතර සාහිත්‍ය වංශයට එකතු වූ අතිශය ප‍්‍රචලිත නිර්මාණයක් වන නිසාය. ගජමන් නෝනා දෙනිපිටියේ නුගරුක වර්ණනා කරන්නට හේතු පාදක වූ සිදුවීම් ඇතොත් එය සොයාගැනීමත් දෙනිපිටියේ නුගරුක ඉතිහාස කතාවත් හෙළිදරව් කරගැනීම අපේ අරමුණ වූ නිසාය.
වැලිගම නගරයේ සිට දෙනිපිටියේ නුගරුක සොයායන්නට අපට පැය භාගයකට කිට්ටු කාලයක් ගතවන්නට ඇත. දෙනිපිටියේ ගංගාතිලක විහාරය පසුකරගෙන ටික දුරක් යන විට හමුවූ පොල් අතු මෝදර ගෙඟ් පාලම අසලදී අපට දෙනිපිටියේ නුගරුක හමුවිය.
පිනවන දුටු දන සෑම
ගඟ ළඟ පිහිටි කදීම
තුරු පෙළ අවට සැදීම
යුත් සෙවනැල්
යන මේ කුලෙවි දිලීම
විහඟුන් මත රැව්දීම
සුළඟින් අත් ලෙළදීම
ඇති හැමකල්
යන එන අය සැපසේම
එහි ඉඳ ගිම් සැනසීම
දස දිග අතු විහිදීම
ගිමෙන විසල්
දෙනිපිටියට ම ඉතාම
වටිනා මහ නුග දූම
බල සකි එහි සිත් සේම
නිලඹර දුල්
මේ අයුරින් සාමාන්‍යයෙන් නිතර හමුනොවන දුලබ විරිතකින් ලියූ මේ කවිය එදා මෙදාතුර අතිශයින්ම ජනප‍්‍රියව පවතින්නේය. ඒ ජනප‍්‍රියත්වය නිසාම දෙනිපිටියේ නුගරුක ද ඓතිහාසික වෘක්ෂයක් බවට පත්ව ඇත්තේය.
එහෙත් අද ඇත්තේ එදා ගජමන් නෝනා කවි ඇසින් දුටු සුවිශාල නුග ගස නොවේ. ඒ ඇසුරින් හැදුණු වෙනත් නුග ගසකි.
කෙසේ හෝ වේවා මේ ඓතිහාසික නුග ගසේ තොරතුරු සොයන්නට අපි මේ ඉම ඇති පන්සල වෙත ගියෙමු.
දෙනිපිටියේ නීග්‍රෝධාරාමය නම්වූ මෙම පන්සලේ විහාරාධිපති, දම්පහළ ධම්මපාල හිමියන්ය. අපි උන්වහන්සේගෙන් දෙනිපිටියේ නුගරුක පිළිබඳව උන්වහන්සේ දන්නා ඓතිහාසික තොරතුරු විමසුවෙමු.
”ගජමන් නෝනා එන කාලෙ දැන් තියෙන ගාලූ පාර තිබුණෙ නැහැ. ඒ කාලෙ පාර තිබිල තියෙන්නෙ ඔය දෙනිපිටියෙ නුගරුක ගාවින්. කරත්තවල යන මිනිස්සු කරත්ත ලිහල ගිමන් නිවාගන්නෙ මෙතනදිලූ. පැත්තකින් ගලාගෙන යන ගෙඟන් නාලා හරකුන්ට වතුර පොවලා මිනිස්සුන් උයා පිහාගෙන කාලා යන්නෙ මෙතන නැවතිලා. මෙතන පිංතාලියකුත් තිබිලා තියෙනවා. පයින් යන මිනිස්සු මේ පිංතාලියෙන් වතුර බීලා මේ නුග ගහේ දෙබලක ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා එහෙම තමයි ගිහින් තියෙන්නෙ.
පස්සෙ කාලෙක මේ නුගගහේ අත්තක් කැඩිලා ගඟ හරහට වැටිල තිබුණලූ. එතකොට මිනිස්සු කරල තියෙන්නෙ ඒ නුග අත්ත පාලමක් විදිහට පාවිච්චි කරපු එකලූ. මේ කිට්ටුවම පැරැුණි අම්බලමකුත් තිබුණා. අර කරත්ත එහෙම නතර කළෙත් ඒ හින්දා. ඒත් අද නම් ඒ පැරණි අම්බලමත් නෑ. නුගගහත් නැහැ.”
ධම්මපාල හාමුදුරුවන් කීවේ කිසියම් සංවේගයකිනි.
”අපේ හාමුදුරුවනේ ගජමන් නෝනා මේ නුගේ බලන්න ඇවිත් තියෙන්නෙ මොකද කියල කවුරුවත් ඔබවහන්සේට කියලා එහෙම නැද්ද?”
මම හාමුදුරුවන්ගේ මුහුණ බලමි.
”ඒක වෙලා තියෙන්නෙ මෙහෙමයි.”
හාමුදුරුවෝ තවත් කතාවකට මුලපිරූහ.
”ඔය ගජමන් නෝනා බැඳල ඉඳල තියෙන්නෙ තල්පෙ මුහන්දිරම් කියල කෙනෙක්නෙ. මේ අයගෙ පළවෙනි දරුවා නැතිවෙලා. ඊට පස්සෙ දරුවා කුසට ආවහම ඒ දරුවා පරෙස්සම් කරගන්න වෙද මහත්තයෙකුගෙන් බේත්හේත් ගන්න ඇවිත් තියෙනවා. ඒ ආපු වෙදමහත්තයා ජයවර්ධන පරම්පරාවෙ කෙනෙක්. බොහොම දක්ෂ ප‍්‍රසිද්ධ වෙද මහත්තයෙක්. ඉතින් ඔය වෙද මහත්තයා තමයි ගජමන් නෝනාව මේ නුගේ ළඟට එක්කගෙන ඇවිත් තියෙන්නෙ.”
හාමුදුරුවෝ මදක් නැවතුනහ.
”මහත්තයලා ආව වගේම මීට අවුරුදු ගණනකට කලින් දයානන්ද ගුණවර්ධන මහත්තයත් ආවා මේ නුගේ ගැන තොරතුරු අහන්න. ඒ වෙලාවෙ මම දයානන්ද මහත්තයාව යැව්වා, ගව්ඩර් කියන ගුරු මහත්මියක් ළඟට. මොකද එයා ළඟ ගජමන් නෝනා ඇඳපු ජාතියෙ කබාකුරුත්තාවක් තිබුණා. ඒ මහත්තයා ගජමන් පුවත නාට්‍යය කරද්දි ඇඳුම් හොයාගත්තෙ ඒ විදිහට.”
”දැන් අර කිව්ව වෙද පරම්පරාවෙ කවුරුත් නැද්ද හාමුදුරුවනේ.”
මම හාමුදුරුවන්ගේ මුහුණ බලමි.
”ඉන්නවා. මෙතන ඉඳල හැතැප්ම කාලක් විතර ගියාම තීන්ත විකුණන කඩයක් තියෙනවා. අන්න එතන තියෙන පාර දිගේ යනකොට මේ වෙදගෙදර තියෙනවා.”
හාමුදුරුවන් දුන් තොරතුරු අනුව ඊළඟට අප ගියේ ජයවර්ධන වෙද මහත්තයාගේ ගෙදරටය. එහෙත් අපි යනවිට වෙදමහත්තයාගේ ගෙදර දොරවල් සියල්ල වසා තිබුණි. අපි හිස් අතින් ආපසු හැරුණෙමු.
ගංගාතිලක විහාරය ඉපැරැුණිම පන්සලක් බැවින් දෙනිපිටියේ නුගරුක බලන්නට ආ අවස්ථාවේදී ගජමන් නෝනා මේ පන්සලටද ගොඩවන්නට ඇත. එබැවින් මේ පන්සල සතුවද ගජමන් නෝනා පිළිබඳ කිසියම් රහස් තොරතුරක් සැඟව තිබෙන්නට බැරි නැත. අපි ඒ රහස් සොයන්නට ගංගාතිලක විහාරයටද ද ගොඩවැදුනෙමු. එහෙත් ගජමන් නෝනා ගැන සුවිශේෂ තොරතුරක් නම් අපට ලැබුණේ නැත. ගජමන් නෝනා මේ පන්සලට ආගිය බව පමණක් ලියාතබන්නට සිදුවන්නේ අන්න ඒ නිසාමය.
දෝන ඉසබෙලා කොර්නේලියා නමැති ගැහැනිය ගජමන් නෝනා ලෙස කවිලොව අභිෂේක ලැබුවේ කෙසේද? සැබැවින්ම මෙය සොයාබැලිය යුත්තකි. බොහෝ ඉපැරැුණි තොරතුරු දන්නා වූද ගාල්ල පදිංචි ස්ථානය කරගත්තාවූද රත්න ශ්‍රී විජේසිංහ කවියාගෙන් මේ ගැන යමක් දැනගත හැකිවනු ඇත. මගේ මෙම නිගමනයට හේතුව රත්න ශ්‍රී ගජමන් නෝනා ගැන ගීතයක්ද රචනා කර තිබීමය.
”මෙහෙමනෙ වෙන්න ඇත්තෙ. ගජමන් නෝනගෙ අයියගෙ නමෙත් තියෙනවනෙ ගජමන් කියන කෑල්ල. එතකොට මෙයාගෙ නමෙත් ඔය කොටස තියෙන්න පුළුවන්. අනිත් එක සාය හැට්ටෙ ඇඳපු ගෑනුන්ට ඒ කාලෙ කිව්වෙ නෝනා කියලනෙ. මෙයාගෙ අම්මටත් කිව්වෙ නෝනා කියලා. ගජමන් නෝනා නම හැදෙන්න ඇත්තෙ ඔය කිව්ව කරුණු දෙක එකතුවෙලා.”
”තව මතයක් තියෙනවා. ආණ්ඩුවෙ පඩි බෙදන නිලධාරියාට කිව්වෙ ගේජ්මන් කියලා. ඔය ගජමන් නෝනාගෙ තාත්තා ප‍්‍රැන්සිස්කුත් පඩි බෙදපු කෙනෙක්නෙ. ඉතින් මිනිස්සු එයාට ගජමන් කියන්න ඇති පහසුවට. ගජමන්ගෙ දුවටත් ගජමන් කෑල්ල ඒ විදිහට ආව වෙන්නත් පුළුවන්.”
කෙසේ හෝ වේවා, කවිකාරිය ඉසබෙලා කොර්නේලියා නොවේ, ගජමන් නෝනාය.
අහල පහළ යමක් ඇති ගෙවල්වල දුවා දරුවන්ට ඉගැන්වීමට ගජමන් නෝනාට ආරාධනා ලැබිණි. ටියුෂන් අධ්‍යාපනය දෙන්නාක් මෙන් ගෙන්ගෙට යමින් පැය දෙක තුන උගන්වන ගජමන් නෝනාට ඒ වෙනුවට ආහාර ද්‍රව්‍ය වලින් හාල් පොල් වලින් මෙන්ම මුදල් වලින්ද කුලී ගෙවනු ලැබිණි. ගජමන් නෝනා ඒවා ගෙනැවිත් තම දරුවන්ගේ කුස ගින්දර නිවුවාය.
මේ අතර යම් යම් උත්සව කවියෙන් වාර්තා කිරීමේ අවස්ථාවද ගජමන්ට ලැබිණි. ප‍්‍රදේශයේ ප‍්‍රභූවරුන්ගේ විවාහ මංගල උත්සව, පන්සල්වල දාන මාන පිංකම් හා උත්සව ආදිය කවියෙන් වර්ණනා කර ගැනීම හා වාර්තා කර ගැනීම උදෙසා ගජමන් නෝනාගේ සේවය ලබා ගැනුණි. මේ සියල්ලට මුදල් අය කළ ගජමන් නෝනා තම ජීවිකාව සලසා ගත්තේ අන්න ඒ මුදලිනි.
මදි පාඩුව තාත්තා ගෙනැවිත් දුන්නේය.
සැපසම්පත් ඇතිව ජීවත් වූ මේ සුන්දර ගැහැනිය අවුරුදු තිස් දෙකක් වෙද්දී වැන්දඹුවකව දුක් විඳින හැටි තාත්තා බලා සිටියේ දුකෙනි. නමුත් මේ දිරිය වන්ත ගැහැනිය ගැන නම් ඔහුගේ සිතේ ඇත්තේ ආඩම්බරයකි. කෙසේ හෝ ඇය ජීවිතය ජයගන්නවා ඇත.
දරුවන් සිව්දෙනෙකුගේ අම්මා කෙනෙක් වන නමුදු ගජමන් නෝනා තවමත් සුරූපීය. දුටු දුටුවන්ගේ සිත්, ප‍්‍රමෝදයෙන් පුරවන තරමටම සුන්දරය. සිහිනිඟ පුළුලූ’කුල ආදී ස්ත‍්‍රී ශරීරාංග වලින් යුක්තය. මේ නිසාම විවිධ උත්සව වාර්තාකරණයට ගියත් විසිතිස් දෙනෙකුගේ ඇල්ම බැල්ම ඇයට ලැබෙන්නේය. විටෙක මෙය වදයක් සේ දැනුනද කවිකාර හිතට එය සතුටක් නොවූයේද නොවේ.
අනෙක් අතට එකල කවිකාරියන් දුර්ලභය. මේ නිසා ගජමන් නෝනා ලවා යම් උත්සවයක් කවියෙන්, වර්ණනා මුඛයෙන් වාර්තා කරවා ගැනීමට ලැබීමද ධනවතුන්ට සම ප‍්‍රභූන්ට ආඩම්බරයට කරුණක් විය. එසේම කාට හෝ ගජමන් නෝනා සමග වචනයක් දෙකක් කතා කරන්නට ලැබීමද සතුටට කරුණකි.
‘‘මම ගජමන් නෝනාව දන්නවා’’ යැයි යමෙක් කීවහොත් ඔහුටද ඒ සමාජයෙන් හොඳ පිළිගැනීමක් ලැබිණි.
අමදෝරු ආරච්චි ඇතුළු පිරිසක් ලන්දේසීන් විසින් ඉන්දියාවට පැහැරගෙන ගියේ ඔය වකවානුවේය. හලාවත සිට මුහුදු මගින් රැුගෙන ගිය මේ පිරිස ටික කලක් කල්කටාවේ රඳවා තබාගනු ලැබීය.
ඊටපසු ඔවුහු මුදාහරින ලද අතර, යාපනයට පැමිණ එතැන් සිට පා ගමනින් රුහුණු පුරයට පැමිණියහ.
මෙන්න මේ සිදුවීම ගජමන් නෝනාගේ කවිසිත කම්පාවට පත් කළේය. ඇය මේ සිදුවීම කවියට නගන ලද්
දේ සංදේශ කාව්‍ය කලාව ආභාෂයට ගනිමිනි.
දුලාවතින් සියපත් දල පෙදා | කොද |
නිලා නුවන් බබලන නිල් පුලා | ලෙද |
ලොලා සිතින් දැක දැක මේ කලා | සොද |
සලාවතින් යන සඳ දුක්මුලා | වැද |
මේ කවියෙන් ඇය විස්තර කළේ අමදෝරුගේ බිරිඳ ගේ හදවතේ ඇවිළෙන වේදනාවයි.
මෙම කාව්‍යයේ වැඩියෙන්ම ලියැවී ඇත්තේ ගමන් මාර්ග විස්තරයයි. මේ එහි ලියැවුණු හලාවත පිළිබඳ කතාවය.
මුතු බෙල්ලන් කඩාගෙන සිදුකළ | කිමිඳ |
ඒ ඇසිල්ලෙන් රැගෙන ගොඩලනේ හැම | සඳ |
ඉඳ ලොල්ලෙන් කරන දෙමළුන් දැක | එසඳ |
හිත ලොල්ලෙනි මගට බැස මැතිඳු ගුණ | සඳ |
ගජමන් නෝනා ලියූ විවිධ පද්‍ය බන්ධන අතර පොතක් ලෙස සැකසුණු එකම නිර්මාණය මේ ශෝක මාලය බවද පැවසේ.
ඇලපාත මුදලි මේ ශෝක මාලය කියෙව්වේය. වරක් නොව දෙතුන්වරක්ම මේ කවි පොත කියවන විට ඔහුගේ හිත නැවත වරක් අර නොලද පේ‍්‍රමයේ උණුසුමින් කිති කැවෙන්නට විය.
පුංචිම පුංචි දවස්වල කරතොට හාමුදුරුවන්ගෙන් ශිල්ප ලබද්දී, තමන් සමග ශිල්ප ලත් ඔමල කොමල ‘කොලූ පැංචා’ මේ ගජමන් නෝනා බව මේ වනවිට ඇලපාත මුදලි දැන සිටියේය.
‘වෙලාවක සපුගොඩ පන්සලට එන්න’
සාමණේර හාමුදුරුවෝ එදා මේ බොළඳ කොලූ පැංචාට ඇරියුම් කළහ.
‘එන්නම්’
එදා ඔහු පොරොන්දුවක් දුන්නේය.
එහෙත් කවදාවත් ‘ඔහු ධම්මරතන සාමණේර හිමියන්ගේ ඉල්ලීම ඉටුකළේ නැත.
මාතර මුහන්දිරම් මියගිය විට, ඔහුගේ ගෙදරට ගිය ඇලපාත මුදලි, වැන්දඹු වූ ගජමන් නෝනා දෙස බැලූවේ පේ‍්‍රමණීය හැඟීමෙනි.
ශෝක මාලය කියවීමෙන් හිත පේ‍්‍රමයෙන් පුරවාගත් ඇලපාත වහාම හසුනක් පිළියෙල කළේය. ඒ හසුන්පත ගජමන් නෝනාට යැවුවේ හිත යට ඉපදුණු සුන්දර බලාපොරොත්තුවක්ද ඇතිවය.
ඇලපාත හිමියෝ වරෙක ගජමන් නෝනාට මේ කවිය ලියා යැවූහ.
කසාගල පන්සල
රතිරුති ළඟ ලියනි අප අසන | පැනැකිය |
නැති විය බාල කාලේ සිට රති | කෙලිය |
ඇතිවිය දැන් මෙමට සිල් රැකපු | අවදිය |
රති සැප විඳින හැටි මට කියව | ළඳලිය |
මේ කවිය දුටු ගජමන් නෝනා ඇගේ ඊළඟ හසුන්පතින් ඒ සඳහා පිළිතුරු සැපයුවාය.
වහා තිබූ සළුව උනමින් කර | අහකා |
රහා පෙම අමුතු බොජුනකි බුදින | ලකා |
පැහා නොව හඬන කොවුලිඳු හැඩ | වලකා |
කහා කොටන වැනි ඉඳගෙන මිරිස් | කකා |
ඇලපාත හාමුදුරුවෝ තම සිවුර හැරලූයේ මේ පිළිතුරෙන් ලද උද්දාමය නිසා බව සමහරෙක් විශ්වාස කරති.කෙසේ වෙතත් සිවුරු හැරලූ ඇලපාත ධම්මරතන හිමි ක‍්‍රිස්තියානිය වැළඳගෙන ඕලන්ද ආණ්ඩුවෙන් තාන්න මාන්නද ලබා ගත්තේය. සිවුර හැරලූ විගසම අලූත්කූරු කෝරලයේ දිසාපති තනතුර ලබාගත්තේය.
ඉනික්බිති ඇලපාත මුදලි ලෙස ප‍්‍රසිද්ධ වූ ඔහු කෙසේ හෝ ගජමන් නෝනා සමග අනියම් සම්බන්ධයක් පවත්වාගන්නට අර ඇන්දේය.
මුලින් මුලින් ඊට ඉඩ නොදුන්නත් ගජමන් නෝනා හා ඇලපාත මුදලි අතර කවි හසුන් නම් අනන්තවත් හුවමාරුවිය.
මුලින් මුලින් ඊට ඉඩ නොදුන්නත් ගජමන් නෝනා හා ඇලපාත මුදලි අතර කවි හසුන් නම් අනන්තවත් හුවමාරුවිය.
කවියට අසීමිතව ආදරය කළ බැවින්දෝ ඕ තමාට ලැබෙන හැම කවි හසුනකටම කල් නොඉක්මවාම පිළිතුරු නම් යැවුවාය.
ඔය අතර කාලයේ ගජමන් නෝනා සම්බන්ධයෙන් විවිධ කටකතාද පැතිර ගියේය. කටකතා පැතිරයාම එදත් අදත් අතර කිසිම වෙනසක් නොතිබුණ සිදුවීමකි.
මේ කටකතා වලට එක් හේතුවක් වූයේ ගජමන් නෝනාගේම සමකාලීන කිවිඳියන්ය. රංචාගොඩ ළමයා යනු ගජමන්ට එරෙහි වූ තවත් එක් කවිකාරියකි. ගජමන් නෝනාගේ ලස්සන, ඇගේ වත්පොහොසත්කම ආදී දේවල් ගැන සේම ඇයට තිබුණු අසීමිත පිරිමි ආකර්ෂනය ආදිය රංචාගොඩ ළමයාගේ ඊර්ෂියාවට හේතු වන්නට ඇත.
කෙසේ හෝ වේවා ගජමන් නෝනා කරතොට ධම්මාරාම හාමුදුරුවන් සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවට අවලාදය මුසු කටකතාවක් මෙකල පැතිර ගියේය. මේ කටකතාවට එක් හේතුවක් වූයේ ගජමන් නෝනා ගේ නිවෙසත්, වේරගම්පිට පන්සලත් එක කිට්ටුවම පිහිටා තිබීමද විය හැකිය.
මේ කටකතාව ඇලපාත මුදලිටද දැන ගන්නට ලැබිණි. ඔහු වහාම ඒ ගැන ලියූ හසුනක් ගජමන් නෝනාට යැව්වේය. එහි ඔහු නැගූ චෝදනාව මෙන්න.
මුනි පුතුන් ඇසුර ලත් සිප් දත් | රුවැතී |
ගජ නමින් අඟනක් ළඟම ඇති | ඇති |
සැම කතුන්ගේම සිරිතකටම | පැවැති |
හොර හිමිත් ගැනුම අත නෑරම | කරතී |
මෙම චෝදනාව ගජමන් නෝනාගේ හිත රිදෙව්වේය. ඇය මහත් ඇල්මෙන් ශිල්ප ලත් ගුරු හාමුදුරුවන් සම්බන්ධයෙන් මෙවැනි චෝදනාවක් නැගීම ඇගේ හිත කම්පාවට පත්කරන්නට ඇති නිසාය.
ගජමන් නෝනා වහාම පිළිතුරු යැව්වාය.
සෑයේ වැදිලා විත් මෙවුරු | කිවිවරු |
මීයේ වදය සේ රසකර කියති | බොරු |
ලීයේ ඇදය හරිතත් හුයෙලා | අඟුරු |
වෑයේ ඇදය බැලූවම ඊටත් | නැඹුරු |
ප‍්‍රැන්සිස්කු එදා ගෙදර ආවේ ඉක්මනින් පිටව යන්නටය.
‘ඇයි සීයා අද කලබලෙන්?’
පුංචි මුනුබුරෝ ටික සීයා වටකර ගත්හ.
පුංචි මුනුබුරෝ ටික සීයා වටකර ගත්හ.
පිය සෙනෙහස අහිමි මේ පොඩි එවුන් පිය සෙනෙහස ලද්දේ සීයාගෙනි.
සීයා පුංචිම මුනුබුරන් දෙන්නා මාරුවෙන් මාරුවට වඩා ගත්තේය. මේ වනවිට ලොකු මුනුබුරා අවුරුදු පහළොවක පමණ ගැටවරයෙකි. ඊට බාල මුනුබුරා අවුරුදු දොළහට කිට්ටු කර තිබුණි. මේ නිසා මොවුන් දෙදෙනා වඩා ගැනීමට බැරිය. එහෙත් ඔවුන්ද පැමිණ සීයා වැළඳ ගත්තේ මහත් වූ සෙනෙහසකිනි.
‘මං දැන් රාජකාරියකට යනවා පුතේ. අද හෙට එන්න බැරිවෙයි.’
සීයා කීවේය.
‘කොහෙද තාත්තා යන්නේ’
ඒ ඇසුණු ගජමන් නෝනා ඇසුවාය.
‘කසාගලට යන්න ඕනෑ’
කසාගල යනු රන්න වීරකැටිය අතර පිිහිටි ස්ථානයකි. ගල් පර්වතයක් මත තැනූ කුඩා චෛත්‍යයකින්ද යුත් කසාගල පන්සල සිංහල රජ කාලය සමග බොහෝ සබඳකම් පැවැති සුන්දර පින්බර ස්ථානයකි.
අනුරාධපුර යුගයේදී අක්කර දහසක නින්දගමක් පැවැරුණු මේ පුණ්‍ය ස්ථානයට කසාගල යන නම ලැබීමද රසවත් කතාවකි.
භික්ෂූන් සිය ගණනකගේ සිවුරු වේළා ගැනීම සඳහා මේ ගලමත එලා තිබුණු බැවින් ඒ ගලට කසාගල යන නම ලැබී තිබුණි.
දෙවන පෑතිස් රජ සමයේ දෙතිස් ඵල රුහ බෝධියක් රෝපණය කරන ලද මේ පින්බිමේ වරෙක දළදා හිමියන්වද වඩා හිඳුවා ඇති බව කියති.
කාවන්තිස්ස, පළමුවැනි දප්පුල, පළමුවැනි විජයබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ වන්දනාවට ද ලක්වූ කසාගල විහාරයට ප‍්‍රැන්සිස්කු යනවිට වරුවක් හමාරක් ගතවී තිබුණි.
ඔහු පන්සලට යන විට පන්සලේ පුංචි කලබලයක් සිදුවෙමින් තිබිණි. ඒ අලියකු සහ ඇත්ගොවුවකු අතරය.
ප‍්‍රැන්සිස්කු මේ කලබලය මොකක්දැයි බලන්නට ගියේය. ඔහුට දුරදීම ඇතා හඳුනාගන්නට හැකිවිය.
‘ඉලංගකෝන් මුදලිගේ ඇතා’ ප‍්‍රැන්සිස්කු තමන්ටම කියාගත්තේය.
සෙංකඩගල රාජධානියෙන් මුදලිට තෑගි ලැබුණු ඔය ඇතා හරිම කීකරු සතා. හැබැයි බොහොම තේජස්. ඒ හින්දම තරමක් චණ්ඩයි...
ගජමන් නෝනා ඩොයිලි හමුව..
(අන්තර්ජාලයේ එන චිත‍්‍රයකි) |
පත්තායමේ ලේකම් තමන් සමඟ කියන කතාව ප‍්‍රැන්සිස්කුට සිහිපත් විය.
පත්තායමේ ලේකම් යනු ඉලංගකෝන් මුදලිගේ ලියන අප්පු වන බැවින් ඔහු මේ ඇතා හඳුනන්නේ බොහෝ කලෙක සිටය.
‘මොකක්ද මේ වෙන්නේ?’ ප‍්‍රැන්සිස්කු රැස්ව සිටි පිරිසගෙන් විමසුවේය.
‘අද උදේ ඉඳලා ඔය ඇතා කොට ඇද්දා. දැන් වැඩ ඉවර වෙලා නාවන්න යන ගමන. ඒත් ඇත්ගොව්වා, ආයෙමත් අතර මගදී තව කඳක් අදින්න කියලා ඇතාට කිව්වා. ඒකට කෙන්ති ගිහින් ඉන්නේ.’
‘ඇත්තනේ ඌ තිරිසනා කියලා ඔහොමත් වැඩ ගන්නවද ඌටත් බඩගිනි ඇති, පිපාසේ ඇති...’
එවිටම ඇත්ගොව්වා ඇතාට කෑ ගැසුවේය. හෙන්ඩුව ඇදගත් ඔහු ඇතාගේ පස්ස පැත්තට ඉන් ඇන්නේය.
ඇතා වියරු වැටුණි.
වේගයෙන් සිරුර එහා මෙහා සෙලවූ ඌ පිට මත ඉඳගෙන විධාන දෙන ඇත්ගොව්වා බිම දැම්මේය.
ඊළඟ මෙහොතේ සිදුවන්නේ මේ ඇත්ගොව්වා මරා දැමීම විය හැකිය. ප‍්‍රැන්සිස්කු වහා ඇතා ළඟට දිවගියේ කෑගසමිනි. මේ මොහොතේ ඇතා සිටියේ හොඳටම කෝපයට පත්වය. ගොව්වා බිම වැටී සිටියේය. තමා ඉදිරියට කෑ ගසමින් එන මිනිසා වෙත පැමිණි ඇතා සිය හොඬවැලෙන් ඔහුටද පහරක් ගැසුවේය.
ඒ පහරවැදී පසෙකට විසිවුණු ප‍්‍රැන්සිස්කු බිම පත බෑවුණේ කපා දැමූ කෙසෙල් කඳක් පරිද්දෙනි. එදෙස බලා සිටි ඇතා ඊළඟ මොහොතේ ඇත්ගොව්වා දෙස බැලූවේය. ඔහුද නිදිය.
අවට රැස්ව සිටි පිරිස හිස් හැරුණු අතේ දිවගියහ. වෙනත් ඇත් ගොව්වෙක් පැමිණ උපක‍්‍රමශීලී ලෙස ඇතාට කිට්ටුකර, ඌ මෙල්ල කර ගැනීමට සෑහෙන වේලාවක් ගියේය. පසුව ප‍්‍රැන්සිස්කුත් ඇත්ගොව්වාත් වෙද මහත්තයකු කරා රැුගෙන ගිය නමුදු හොඬවැලෙන් පහර කා සිටි ප‍්‍රැන්සිස්කු හිටියේ අසාධ්‍ය තත්ත්වයේය.
ඔහුගේ සිරුර තැලී තිබිණි. අභන්තර අවයව රාශියකටද හානි සිදුවීම නිසා ඔහුගේ මරණය අපේක්ෂා කළ යුතු බව වෙද මහතාගේ තීරණය විය.
මේ ඛේදනීය පුවත ගජමන් නෝනා වෙත ලැබෙන විට ඇය සිටියේ කිට්ටුව පාත පන්සලක පැවැති කවි මඩුවකට යන්නට සූදානමිනි. මෙකල කවි මඩු යනු අතිශය ජනප‍්‍රිය කලා අංගයකි.
ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, රංචාගොඩ බාල මහත්තයා, මැද්දේගොඩ උපාසක අම්මා, වයි සිංෙක්‍දා්, ඩිංගිරි මුදලාලි, පුයි අප්පු මෙකළ කවි මඩුවල නිතර කවි කී ජනප‍්‍රිය කවීහූය.
නමුත් ගජමන් නෝනාගේ නෝනා ඇඳුමත්, වියැකී නොගිය රූ සිරියත්, ශෘංගාරය මුසු මියුරු කවිත් නිසා අන් කිවිඳියන්ට වඩා ඇය කැපී පෙනුණි.
මේ නිසාම රංචාගොඩ ළමයා වැනි ඇතැම් කිවිඳියක සිටියේ ගජමන් නෝනා සමඟ ඊර්ෂියාවෙනි. ඇගේ සැමියන් මිය යෑම මෙන්ම ඇලපාත මුදලි හා පැවැති රහස් පෙම අවියක් කරගෙන ඇයට අපහාස කිරීම රංචාගොඩ ළමයාගේ පුරුද්දක් විය. එහෙත් ගජමන් නෝනාද පසු බැස්සේ නැත. හොඳ කුණුහුරුප උත්තර ඇගෙන්ද ලැබිණි.
තාත්තාට ඇතා ගැසූ පුවත කණ වැකුණු විගසම ගජමන් නෝනා කසාගල යන්නට පිටත් වූවාය. තාත්තා යනු ගජමන් නෝනා මෙලොව වඩාත්ම ආදරය කළ පුද්ගලයාය. ඔහු නැත්නම් ගජමන් නෝනාත් ඇගේ දරු පැටවුනුත් මෙලහකටත් හිඟාකන්නට පටන් ගෙනය.
තාත්තාට කරදරයක් වෙයිද? ගජමන් නෝනා තමාගෙන්ම අසාගත්තාය.
‘තාත්තේ’
ප‍්‍රැන්සිස්කු සේනාරත්න ගිලන් ඇඳ මත හොවා තිබෙනු දුටුවිට ගජමන් නෝනාට ඇඬිනි. ඇය තම පියාගේ හිස සිපගත්තාය. යාන්තමට උණුසුමක් ඉතුරු වී තිබුණද හිසෙන් ඇයට දැනුණේ සීතලකි.
‘මොකද මගේ තාත්තාට?’
ඇය ඇසුවේ වෙද මහතාගෙනි.
‘තව දෙතුන් පැයකට වැඩිය ජීවත්වෙන එකක් නෑ නෝනේ.’
ඒ වචන තම සවන වැටෙන විට දෑස නිලංකාර වන සෙයක් ගජමන් නෝනාට දැනුණි. ඇය අසල තිබූ පුටුවක් අල්ලාගත්තේ අත්වැලක් අවශ්‍යම නිසාය.
එහෙත් ඇයට තිබුණු සවිමත්ම අත්වැල දැන් බිඳී ගොසිනි.
ප‍්‍රැන්සිස්කු සේනාරත්නගේ අවසාන හුස්මපොද වාතලයට නික්ම ගියේ ඇතාගේ පහර කා දෙදිනකට පසුවය. ගජමන් නෝනාගේ හැඬුම් හඬ ද ඒ සමඟම වාතලයට එකතු විය.
මා පිය පියා මැරවෙද රුදු මත | වරන |
මා පිය පියා කරවා ඒ රුදු | කමින |
මා පිය පියා නිදි නොව දළ සෝ | දුකින |
මා පිය පියා සිහිකර හඬමි | හැමදින |
පිය සිය නගමිනේ යනෙනා තුරු | යෙහෙන |
පිය සිය නගමිනේ සිය උකුලට | රැගෙන |
පිය සිය නගමිනේ වැඩු අප සුත | පෙමින |
පිය සිය රුදුවනේ මරුමුව වැද | ගිලූන |
ගජමන් නෝනා තම පියා වෙනුවෙන් කවි ලීවාය.
‘ගජමන් ආරච්චිට ඇතෙක් ගහලා’
‘ගජමන් නෝනාගේ තාත්තාට ඇතෙක් ගහලා’
මේ පුවත ගිරුවාපත්තුව පුරා පමණක් නොව අහල පහළ කෝරළවලටද පැතිර ගියේය.
‘මොනවා.. ගජමන් නෝනාගේ තාත්තා’
මේ පුවත ඇසුණු හැටියේම ඇලපාත මුදලි ඇසුවේය.
ඒ මොහොතේම ඔහු වේරගම්පිට යන්නට සූදානම් වූයේය.
‘මේ කොහේ යන්නද?’
ඇලපාත මුදලිගේ බිරිඳ දෙල්ගොඩ මැණිකේ ඇසුවාය.
‘මගේ ආරච්චි කෙනෙකුට ඇතෙක් ගහලාලූ මැණිකේ. මම බලලා එන්නම්.’
ඇලපාත මුදලි කීවේය. ඇතා පහරදී ඇත්තේ ගජමන් නෝනාගේ තාත්තාට බව ඔහු ඇගෙන් ඒ මොහොතේ වසන් කළේය.
ඇලපාත මුදලි වේරගම්පිටට යනවිට ප‍්‍රැන්සිස්කුගේ මිනිය එහි ගෙනවිත් තිබිණි. සුදුපාට කබා කුරුත්තාවක් ඇඳගෙන සිටි ගජමන් නෝනාගේ ඇස්වල තිබුණේ මළානික පෙනුමකි. ඇගේ නීල උත්පල දෙනෙත, රත්පියුම්වල පැහැය ගෙන තිබුණේ අඬා වැලපුණු නිසා බව ඇලපාතගේ කවිකාර සිතට තේරුම් ගියේය. ගජමන් නෝනාගේ දෑතම අල්ලාගෙන ඇගේ සෝබර මුහුණ දෙස බලා සිටි ඇලපාත මුදලි ඇගේ දෑත අතහැරියේ දුකිනි.
සතළිස් හය හැවිරිදි වූවත් ගජමන් නෝනාගේ රූ සිරිය තවමත් එබඳුමය. තරමක් දුරින් සිට ඇගේ රූසිරිය නරඹමින් සිටි මුදලි යන්නට කලින් මුදල් නෝට්ටුවක් ගෙන ගජමන්ගේ අතේ තැබුවේය.
‘මං ආයේ හෙට දිහාවට එන්නම්’ ඔහු කීවේය.
ප‍්‍රැන්සිස්කු සේනාරත්ගේ දේහයට පාංශුකූලය දෙන්නට කරතොට ධම්මාරාම හාමුදුරුවෝද වැඩම කළහ. ඒ හිමියෝ ප‍්‍රැන්සිස්කු ගැන කතා කළේ රටට ඉතාම වැඩදායි සේවයක් කළ මිනිසෙකු ලෙසිනි. ගජමන් නෝනා වැනි කිවිඳියක මෙලොවට බිහිකිරීම පමණක් වුවද ප‍්‍රැන්සිස්කු රටෙන් පිදුම් ලබන්නට සෑහෙන බව කරතොට හාමුුදුරුවෝ ප‍්‍රකාශ කළහ.
ගජමන් නෝනා දැන් මෙලොව හුදෙකලාය. තල්පේ ආරච්චිත්, උයන්වත්තේ මුහුන්දිරමුත් තමා හැරගිය පසුව ඇයට රැුකවරණයට ඉතුරු වූයේ තම තාත්තා පමණි.
දැන් ඒ තාත්තාත් නැත.
දැන් ඇයට ඇති එකම සරණ කවියම පමණි.
ඇලපාත මුදලිගේත්, තවත් මිනිසුන්ගේත් ඇල්ම බැල්ම ඇතත් ඒ පේ‍්‍රම කතා සියල්ලම සඳ එළිය වැන්න. ඇයට අවශ්‍ය හිරු එළියකි.
චන්ද්‍ර සූරියා වැනි එළඳගේ | උවන |
ඉන්ද්‍රනීල දෙක වැනි ළමැද එන | තන |
අන්ධකාරයට ඇවිලූන පාන | මෙන |
කින්ද තනි යහනේ නිිදියන්නේ | නෝන |
ඇලපාත මුදලි ගජමන් නෝනාගෙන් අසා එවුවේය.
ඒ කවිය දුටුවිට ගජමන් නෝනාට කට වසාගෙන සිටින්නට නොහැකි විය. ඇය වහා කවියකින් ඔහුට පිළිතුරු යැව්වාය.
බැන්ද මගේ හිමි පරලොව ගිය | බැවින |
නින්ද අපට පුරුදුය තනියම | යහන |
වින්ද රති සැපත මට මතක | නැතිවුණ |
කින්ද තමුසේට විමසන්න | කාරණ |
ගජමන් නෝනාට ආර්ථික අහේනිය තදට දැනුණි. ඉඳහිටක කවිමඩුවකට ගියත් ඉන් ලැබෙන මුදල දෙතුන් දොහකට වඩා සෑහුනේ නැත.
‘අම්මේ බඩගිනියි’
පුංචිම එව්වෝ කීහ.
‘අම්මේ මේ බත් රහ නැහැ’
ලොකු එවුවෝ කීහ..
කරන්නේ මොකක්්දැයි ගජමන් නෝනා දහඅතේ කල්පනා කළාය.
‘ඩොයිලි මහත්තයාටවත් ලියලා බලන්න ඕනෑ’ අවසානයේ ගජමන් නෝනා කල්පනා කළාය.
‘තාත්තා මළෙත් ඇතෙක් ගහලනේ. සමහර විට වන්දි මුදලක්වත් ඉල්ලගන්න පුළුවන් වෙයි.’
ශ්‍රීමත් ජෝන් ඩොයිලි වූ කලී සිංහල ද පාලි ද හොඳට උගත් නිලධාරියෙකි. ඔහු එම භාෂාවන් ප‍්‍රගුණකළේ කරතොට ධම්මාරාම හාමුදුරුවන් ගෙනි. මේ නිසාම ඔහු කවියටද මනාපය. ගජමන් නෝනා ඩොයිලිට කවියෙන් තම දුක ලියා යැව්වේ අන්න ඒ නිසාය.
සඳ මෙන් කවා ඇති දැඩි කළ | පැටවුන්ට |
අද දින පමණ නැත වත උන් | රැකගන්ට |
සොඳ ගුණ ජෝන් ඩොයිල් මේ දිසා | මැතිදුන්ට |
වැඳගෙන දුක කියමි පිහිටක් | ලැබගන්ට |
සිත් ලෙසින් දයා බැඳ වැඩු පිය | සුගන |
බත් දියන් කියා ඉඳ අඬති තැන | තැන |
පත් මේ නොයා මේ තද ඇති | ලෙසින |
අත් මුදුන් තියා දුක කියමි | වැඳගෙන |
මෙබඳු කවි පෙලකින් සමන්විත වූ මෙම ලියුම ජෝන් ඩොයිලි කියවූයේ සතුටෙනි. ඔහුද සිංහල කාව්‍ය රසිකයකු වීම ඊට හේතුවයි.
ලියුම ලද විලස ඔහු ගජමන් නෝනා තමා හමුවට කැඳවීය.
නියම කරගත් දිනයක මාතර දිසාපති කාර්යාලයේදී ගජමන් නෝනාට ඩොයිලි මුණ ගැසිණි. රුහුණේ ජනපි‍්‍රයම කවිකාරිය තමා ඉදිරියට පැමිණීම ජෝන් ඩොයිලිට ආඩම්බරයට කරුණක් විය.
ඇගේ දුක සැප අසා දැනගත් ඩොයිලි අතිශයින්ම කම්පාවට පත්විය.
අන්තිමේදී ඔහු කළේ ගජමන් නෝනාට නින්දගමක් පවරා දීමය. එම නින්දගම පසු කලෙක නෝනාගම නමින් ප‍්‍රසිද්ධියට පත්විය.
අපි අන්න ඒ නින්දගමට ගියේ ගජමන් නෝනා ගැන තොරතුරු සොයා දැන ගන්නටය.
නෝනාගම හන්දියේ පදිංචිව සිටින විශ‍්‍රාමික ගුරුවරයෙකු වන ගුණදාස මහතා අපට ඒ ගමනේදී මුණ ගැසිණි. නෝනාගමේම උපන් ඔහු ගජමන් නෝනාත් නින්දගමත් ගැන ඔහු දන්නා දේවල් පැවසුවේය.
ගජමන් නෝනාට මේ නෝනාගම පවරලා දුන්නාට මොකද එයා මෙහේ පදිංචි වෙලා හිටිය බවට ඒ තරම් සාක්ෂියක් නම් නැහැ. ඒ වගේම ගජමන් නෝනාගේ පුත්තු මේ නින්දගමේ සිටිය බවට කිසිම සඳහනක් නැහැ.
එසේ වුවත් නෝනාගම ගජමන් නෝනාට නින්දගමක් සේ පවරා දුන්නේ ඇගේ ජීවිතයේ දුෂ්කර සමයේදීය. එසේ හෙයින් ගජමන් නෝනා මේ නින්දගමට නොපැමිණීමට කිිසිම හේතුවක් නැත. සමහරෙකු කියන්නේ ගජමන් නෝනා නෝනාගම වැව අසළ ජීවත්ව සිටි බවයි. ඇය සිය ජල අවශ්‍යතා සපුරාගත්තේද නෝනාගම වැවෙන් බවද කියති.
ගජමන් නෝනාගේ දීර්ඝ ජීවන ප‍්‍රවෘත්තිය සටහන් කළ ලියුමක් ගිය සතියේ මට ලැබිණි. දෙනිපිටියේ ධම්මික එස්. ජයවර්ධන විසින් එවනු ලැබූ ඒ ලිපියට අනුව. මේ කාල වකවානුව වන විට ගජමන් නෝනාගේ ලොකු පුතුන් දෙදෙනා සිටියේ කොල්ලූපිටියේය. ඒ වනවිටත් ගජමන් නෝනාගේ පියාත් මවත් පදිංචිව සිටියේ කොල්ලූපිටියේය. ඔවුහු ගජමන් නෝනාගේ වැඩිමල් පුතුන් වූ ගිරිගෝරිස් ද ජුවානිස්ද තම භාරයට ගෙන ඔවුන්ට හොඳින් අධ්‍යාපනය ලබාදුන්හ.
ගජමන් නෝනාගේ තෙවැනි පුතා වූ දාවිත් සිය කැමැත්තෙන්ම පැවිදි බිමට ඇතුළත්ව සිටියේය. මේ නිසා මේ වෙද්දී ගජමන් නෝනා සමඟ ජීවත් වූයේ ඇගේ බාලම පුතා වූ දියෙස් හෙවත් බබා ගුරුන්නාන්සේ පමණි. ඔහුද හොඳට සිංහල බස උගත් කවි හා සිංදු රචනයේ දක්ෂයකුව සිටි බව ජයවර්ධන පවසයි. ගජමන් නෝනා කලක් බෙහෙත් ගත් ජයවර්ධන වෙද පරම්පරාවේ වත්මන් පුරුකක් වන ඞී.එස්. ජයවර්ධන මහතාටත් තවත් ලියුම් එවූ, දුරකථනයෙන් බොහෝ තොරතුරු ලබාදුන් ඉරිදා ලංකාදීප පාඨකයන්ටත් ස්තුතිය පුද කිරීමටද අමතක නොකරමු.
No comments:
Post a Comment