Friday, February 13, 2015

කෞතුක පෙම්පත

කාලය මොනතරම් වේගයෙන් ඉගිල ගියත් ආදරය, සෙනෙහස වගේ දේවල් වෙනස් වෙන්නේ නැති තරම්. දරුණු යුද ගැටුම් සහිත පරිසරයක සිටිනා කෙනෙකුට වුණත් මෙවැනි හැඟීම් දැනෙන එකේ වෙනසක් නෑ. අන්න ඒ කරුණ නිසා තමා යුද පෙරමුණුවල යුදවදිනා යුද සෙබළුන් පවා තම පෙම්වතියන්ට ලිපි ලියන්නේ. මෙලෙස ලියන ඇතැම් ලිපි කිසිදිනෙකවත් තම පෙම්වතියන්ට යවන්න නොලැබෙන අවස්ථා ඕනෑ තරම්. ඒත් පසුගිය දිනෙක සෙබළ පෙම්වතෙක් තම පෙම්වතියකට යැවූ ලිපියක් මුළු ලෝකේම අවධානය දිනා ගත්තා.


මේ සෙබළ පෙම්වතා ඇමෙරිකානු ජාතිකයෙක්. ඔහු තම ලිපිවල සටහන් තබා තිබෙන ආකාරයට ඔහුගේ නම චාර්ස්. චාර්ස් 1914 වසරේදී මේ ලිපිය ලියා තිබෙන්නේ ප්‍රංශයේ සිටයි. ඔහු ඇමෙරිකානු සෙබලෙකු ලෙස ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සේවය කර තිබෙනවා. කෙසේ වෙතත් දින වකවානු සැසඳීමේදී චාර්ස් ඇමෙරිකානු බලකායක් සමග 1914 පළවෙනි ලෝක යුද්ධයට සහභාගි වූ බව වටහා ගැනීම අසීරු නෑ.

චාර්ස් තම පෙම්වතිය යැවූ ලිපියක් කෞතුක භාණ්ඩ එකතු කරන්නෙකු අතට පත්ව තිබෙනවා. ඔහු පසුගිය දිනෙක එම පෙම්පත බ්‍රිතාන්‍යයේ දී වෙන්දේසි කළා. මේ පෙම්පතට එහිදී පවුම් 6000ක වාර්තාගත මිලක් ලැබි තිබෙනවා. මේ පෙම්පත මිලදී ගත් පුද්ගලයා එය ඩේලි මේල් වබේ අඩවියට ලබා දීමත් සමග සියවසකට වඩා පැරණි මේ පෙම්පත ලක්ෂ ගණනක් දෙනා අන්තර්ජාලය ඔස්සේ කියවා තිබෙනවා.

මෙම පෙම්පත චාර්ස් ලියා ඇත්තේ 1914දී බව වාර්තා වෙනවා. ඔහු තම පෙම්වතිය අමතා ඇත්තේ ඇගේ නමින් නොව ච්ඥචප ට්ඪපත (ආදරණීය කෙල්ල) යනුවෙනි. තම පෙම්වතිය අමතා චර්ස් යැවූ ලිපියේ “ඔබේ ආදරය මට බලා‍පොරොත්තුව ගෙන එනවා. ඔබ මා වෙනුවෙන් කරනා යාඥා මා දිරිමත් කරනවා” යැයි සඳහන් වෙනවා. චාර්ස් මේ ලිපිය ලියා ඇත්තේ එක විට නොවන බව වාර්තා වෙනවා. ලිපියේ එක තැනක “දැන් මා නතර විය යුතුය” කියා තිබෙන අතර තවත් තැනක “ඉතින් කෙල්‍ලේ දැන් මම ලියන්නම්” යැයි සඳහන්ව තිබෙනවා. ඇතැම් විට එය යුද්ධ කටයුතු සඳහා චාර්ස්ට තැනින් තැන යෑමට සිදුවූ නිසා විය හැකියි.

පෙම්වතුන් පෙම්වතියන් අතර පෙම් හසුන්වල දමා යම් යම් සිහිවටන හුවමාරු වීම අදටත් පවතින සිරිතක්. අදින් වසර 100කට පෙර චාර්ස් නම් යුද සෙබලා තම පෙම්වතියටත් මෙවැනි සිහිවටනයක් ආදර හසුන තුළ බහා යවා තිබෙනව. පුදුමයකට මෙන් ඔහු යවා තිබෙනුයේ ‍පොපිමලක්. ‍පොතක් වැනි දෙයක් තුළ දමා සකසා ගත් ‍පොපිමල ඔහු ලිපිය තුළ බහා තම පෙම්වතියට යවා තිබෙනවා.ඇකිලී ‍පොඩි වී ගිය ‍පොපිමල ලිපිය සමග වෙන්දේසි කර තිබෙනවා.

පළවෙනි ලෝක යුද්ධයෙන් පසු සේවා මුක්ත භටයන්ගේ සුබසාධනය වෙනුවෙන් ‍පොපිමල් අලෙවිය ආරම්භ වුණා. ඒත් යුද්ධය පවතින අතරතුර පවා යුද සෙබළුන් තම ආදරය සංකේතවත් කරන්නට ‍පොපිමල යොදාගත් බව මින් තහවුරු වෙනවා.

වෙන්දේසියෙන් පවුම් 6000කට මේ පෙම්පත සහ ‍පොපිමල මිලදීගත් පුද්ගලයා තම අනන්‍යතාව හෙළි කර නැහැ.

එහෙත් මේ දුර්ලභ වස්තුව හිමි වීම ගැන ඔහු ඉතා සතුටින් සිටින බව වාර්තා වෙනවා. නමුත් අදින් වසර 100කට පෙර මේ පෙම්හසුන ලද පෙම්වතියට ඇතිවූ හැඟීම කුමක්දැයි කිසිවෙකුටත් වටහා ගත නොහැකි වූ බව නම් කිව හැකියි. එහෙත් ඇය මෙම ලිපියට යැවූ පිළිතුරු ලිපිය හෝ ඇය කොහේ සිටියාද යන්න ලෝකයට රහසක්. අවම වශයෙන් ඇගේ නමවත් ලෝකය දන්නේ නෑ.

ජංගම දුරකථන සහ පරිගණක භාවිතය නිසා නූතන පරපුරට පෙම්හසුන ආගන්තුක දෙයක් බවට පත් වෙමින් පවතින වර්තමානයේ සියවසක් පැරණි පෙම්පතක් ඉහළ මිලකට අලෙවි වීම හුදු කෞතුක භාණ්ඩයක් මිලදී ගැනීමට වඩා වෙනස් දෙයක් බවයි ඩේලි මේල් වබේ අඩවිය වාර්තා කරන්නේ.


Thursday, February 12, 2015

සම්ප්‍රදායානුකූලව ඇතැම් දේවලට එම වර්ණයන් ලැබිමට මුල් වූ හේතු

ලෝකය ජීවත් වීමට  ප්‍රිය උපදවන ස්ථානයක් බවට පත්ව තිබෙන්නේ වර්ණ නිසාය. සොබාදහම ආදර්ශයට ගනිමින් තම පරිකල්පනයෙන් බිහිවන නිර්මාණවලටද කුමක් හෝ වර්ණයක් ලබා දීමට මිනිසා පෙළඹුණේ ඈත අතීතයේ සිටය. මෙම ලිපියෙන් ගෙනෙන්නේ එලෙස සම්ප්‍රදායානුකූලව ඇතැම් දේවලට එම වර්ණයන් ලැබිමට මුල් වූ හේතු පිළිබඳ රසවත් විස්තරයකි.
ඇමෙරිකාවේ පර්පල් හාට් පදක්කම
ඇමෙරිකානු හමුදා සේවයේදී සුවිශේෂී දක්ෂතා දක්වන හමුදා සෙබළුන්ට ඔවුන්ගේ එඩිතරභාවය උදෙසා පිරිනැමෙන දම් පැහැති හදවත් හැඩයෙන් යුතු පදක්කම ඇමෙරිකානු හමුදා සෙබළුන් වෙනුවෙන් පිරිනැමෙන්නට යෙදුණු පළමු වීර පදක්කම ලෙස සැලකේ. හිටපු ඇමෙරිකානු ජනපතිවරයෙකු වන ජෝර්ජ් වොෂින්ටන් හමුදා ජෙනරාල්වරයෙකුව සිටි අවධියේදී මෙම ගෞරව පදක්කම නිර්මාණය කළ ආකාරයද රසවත් කතාවකි. ඇමෙරිකානු විප්ලවය පැවැති වකවානුවේදී සෙබළුන්ට උසස්වීම් ලබාදීම රජයේ ඉහළ පුටුවලින් තහනම් කොට තිබිණි. තත්ත්වය එසේ වුවත් ගරු නම්බු හිමිවිය යුතුව සිටි සෙබළුන්ට කෙසේ හෝ එම ගෞරවය ලබා දිය යුතුය යන මතයේ සිටි ජෙනරාල් වොෂින්ටන් ඒ සඳහා යෙදූ උපක්‍රමය වූයේ දම්පැහැ සේද පිළියෙන් කළ හදවත් හැඩයේ පදක්කමක් උසස්වීම් ලැබූ සෙබළුන්ගේ ළයේ වම්පස පැළඳවීමයි. ක්‍රි.ව. 1782 අගෝස්තු 7 දා සිට ඇරඹුණු මෙම සංකේත ප්‍රදානය අදටද එලෙසින්ම සිදු කෙරේ.
මේ සඳහා දම් පැහැයම තෝරා ගැනීමට වොෂින්ටන්ව පෙළඹවූ හේතුව කුමක්දැයි හරිහැටි නොදන්නා මුත්, රාජකීයත්වයේ සංකේතයක් ලෙස දම් පැහැයට හිමිව ඇති පිළිගැනීම ක්‍රි.පූ. පහළොස්වන සියවස දක්වා වූ අතීතයකට විහිද යන්නකි. එකල විසූ රෙදි වියන්නෙකු අධික වියදමක් දරමින් දීර්ඝ දුෂ්කර ක්‍රියාවලියක ඇවෑමෙන් දම් පැහැය පිළියෙළ කරගෙන තිබුණේ මුහුදු ගොළුබෙල්ලන්ගේ ස්‍රාවයකිනි. ඒ සඳහා වැය වූ කාලය හා පිරිවැය නිසාම දම් පැහැය ධනවත්භාවයේ හා බලයේ සංකේතයක් බවට පත් වූ බව පිළිගැනේ.

යටත්වීම සංකේතවත් කරන සුදු කොඩි
මෙය ද ඈත අතීතයේදී සම්භවය වූ සිරිතක ප්‍රතිඵලයකි. සුදු යට ඇඳුම් භාවිතය සිරිතක් වූ අතීතයේදී සෙබළුන්ට මෙන්ම සිවිල් වැසියන්ටද ඕනෑම වේලාවක එවැන්නක් සොයා ගැනීම අපහසු වූයේ නැත. ඕනෑම පසුබිමකදී කැපී පෙනීමේ හැකියාව ඇති සුදු පැහැයෙන් යුතු ඇඳුම් කොඩියක් ලෙස පහසුවෙන්ම ලෙළවීමට ඇති හැකියාව නිසා ඒවා යටත්වීම සංකේතවත් කිරීමට යොදා ගත් බව ‍පොදු පිළිගැනීමය.
කහ පැහැති කුලී රථ
එක්දහස් නවසිය මුල් ගණන්වලදී ඇමෙරිකාවේ නිව්යෝක් නුවර භාවිතා වූ රතු හා කොළ පැහැති කුලී රථ, කහ පැහැයට පරිවර්තනය වූයේ ඇල්බට් රොක්වෙල්ගේ මෝටර් රථ සමාගම නිසයි. 1907 දී ඔහුගේ සමාගම අශ්වබල පහළොවක එන්ජිමකින් යුතු එකල සම්මතයන්ට අනුව සුපිරි ධාවන හැකියාවකින් යුතු කුලී රථයක් නිෂ්පාදනය කළේය. මෙම සුපිරි මෝටර් රථය කහ පැහැ විය යුතු බව තීරණය කළේ රොක්වෙල්ගේ බිරියයි. කෙටි කලකින්ම අසීමිත ජනප්‍රියත්වයක් හිමි කර ගත් රොක්වෙල් කැබ් රථවලින් නිව්යෝර්ක් නුවර වීදි පිරී ගියේ කහ පැහැය කුලී රථවල නිල වර්ණය බවට පත් කරමිනි.

රෝස පාට බබල්ගම්
ක්‍රි.ව. 1928 දී ෆ්ලියර් චුවින්ගම් සමාගමේ සේවයේ නියුතු වෝල්ටර් ඩයිමර් “හපන කලාවේ” අලුත්ම සොයා ගැනීම සිදු කරත්දී රෝස පැහැති ආහාර වර්ණක පිරවූ ගුදමක් ඔහු සමීපයේම තිබුණේ ෙදෙවයේ සැලසුමකට අනුවය.

විවේක කාලය නව අත්හදාබැලීම් වෙනුවෙන් කැප කිරීමට ප්‍රිය කළ එවකට විසිතුන් හැවිරිදි වුඩයිමර් 1928 දී ‘බබ්ල්ගම්’ ලෙස අද හැඳින්වෙන ඇලෙන සුලු බවින් සාපේක්ෂව අඩු එහෙත් වඩාත් විශාල බෝල පිම්බිය හැකි හපන ගම් විශේෂයක් නිර්මාණය කළේය. තමන්ට එවෙ‍ලේ පහසුවෙන්ම ලබා ගත හැකි වූ රෝස  පැහැය ඩයිමර් බබ්ල්ගම් මිශ්‍රණයට එක් කළේ එය සිය නව සොයා ගැනීමේ අනන්‍යතාව කියාපාන වර්ණය බවට පත් කරමිනි.

කරාටේ කළු පටි
කරාටේ සටන් ශිල්පය ප්‍රගුණ කරන්නන්ට ඒ සම්බන්ධයෙන් ලබා ඇති නිපුණතාව මත විවිධ වර්ණයෙන් යුතු පටි ප්‍රදානය කිරීම සිරිතකි. කහ, කොළ, නිල්, යනාදී විවිධ වර්ණවලින් ලබා ඇති නිපුණතාවේ විවිධ මට්ටම් නිරූපණය කිරීම සිදුවන අතර ඉහළම නිපුණතා මට්ටම සංකේතවත් වන්නේ කළු පටියෙනි. මෙම වර්ණ අනුපිළිවෙළ වඩාත් ළා පැහැයේ සිට තද පැහැයන් දක්වා වූ අනුපිළිවෙළකට සකස් වීමට හේතු වී ඇත්තේ අද මෙන් රෙදි සුලබ නොවූ අතීතයේදී එකම සුදු රෙදි කඩක් වරින්වර විවිධ වර්ණයෙන් සායම් කරමින් භාවිතයට ගැනීම නිසයි. එම නිසා සුදු, කහ, තැඹිලි, කොළ, නිල්, දම්, දුඹුරු, රතු හා කළු ලෙස වර්ණ අනුපිළිවෙළ සැකසී තිබේ.

ගොන්‍පොරකරුවන්ගේ රතු සළුව
රතු පැහැය දුටුවිට ගොනුන් කෝප ගැන්වෙන බවට බොහෝ දෙනකු තුළ විශ්වාසයක් තිබුණ ද එය සත්‍යයක් නොවේ. කොටින්ම ගොනුන්ට රතු පැහැය හඳුනා ගැනීමට හෝ නොහැක. ඒ ඔවුන් උපතින්ම වර්ණ අන්ධතාවයෙන් පෙළෙන නිසයි. එසේ නම් ගොන්‍පොරකරුවන් ලෙළවන රතු සළුව ඉදිරියේදී ගොනුන් ආවේගශීලීව හැසිරෙන්නේ ඇයි ? ඒ එහි පැහැය නිසා නොව ක්ෂණිකව සිදුවන සළුවේ චලනයක් නිසාය. ගොනුන්ගේ ක්‍රියාකාරීත්වයට සළුවේ වර්ණයේ බලපෑමක් නොවුණත් රතු සළුවක්ම ඒ සඳහා භාවිත කරන්නේ, ගොන්‍පොරයේදී තුවාල ලබන සත්වයාගෙන් විසිරෙන ‍ලේ ප්‍රේක්ෂකයාගේ ඇසට එක එල්‍ලේම නොපෙනෙන සේ ආවරණය කිරීම සඳහායි.

මනාලියන්ගේ සුදු ඇඳුම්
මනාලියන් ගෙන් බහුතරය සුදු පැහැ මංගල ඇඳුමින් සැරසීමේ සම්ප්‍රදාය යුරෝපයේදී ආරම්භ වූවකි. ක්‍රි.ව. 1840 එංගලන්තයේ වික්ටෝරියා රැජින ඇල්බට් කුමරු හා විවාහයේදී සුදු ‍ලේස් ගවුමකින් සැරසුණේ එය දිගුකාලීන සම්ප්‍රදායක ඇරඹුමක් වනු ඇතැයි නොසිතාය. විවිධ වර්ණයෙන් යුතු ඇතැම් විට කළු පැහැති මංගල ඇඳුමින් පවා මනාලියන් සැරසුණු යුගයක් වූ එකල වික්ටෝරියා රැජිනගේ තේරීම සෙසු යුවතියන් කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කිරීමට සමත් විය. එය සමාජයේ කැපී පෙනෙන චරිතයක් අනුකරණය කිරීමට සෙස්සන් තුළ ඇතිවන නැමියාව කියාපාන්නකි. මේ නිසා එවක් පටන් සුදු මංගල ඇඳුම බොහෝ රටවල මනාලියන්ගේ සම්ප්‍රදායික තේරීම බවට පත් විය.

ඉතිහාසයේ නම රැන්දූ එබඳු සුවිශේෂී ඡායාරූප

අතීතයේ විවිධ අවස්ථාවලදී ගනු ලැබූ ඇතැම් ඡායාරූප අනාගත පරම්පරාවලට සදා අමරණීය මතකයක් ලබාදීමට හේතුවූ අවස්ථා ඉතිහාසයෙන් වාර්තා වේ. මෙම ඡායාරූප අදටද සුවිශේෂී වන්නේ ඒවායෙන් නිරූපණය වන සංවේදී සිදුවීම් නිසා මෙන්ම ඒවා ඡායාරූපයට නැගුණු අහඹු ආකාරයත්, ඇතැම්විට ඒවා ඉන් නිරූපණය වන පුද්ගලයාගේ මරණයට මොහොතකට පෙර අහම්බෙන් මෙන් ගනු ලැබුණූ ඒවාත් වන නිසාය. මීට අමතරව නූතන ඡායාරූප ශිල්පය භාවිතයට පැමිණීමට පෙර අනියම් ආකාරවලින් ගනු ලැබූ ඡායාරූපද වෙයි. මේවා මෙකී නොකී සියලු කාරණා නිසා ඓතිහාසික ඡායාරූප ගණයෙහිලා සැලකෙන ඒවාය. මෙම ලිපියෙන් ගෙනෙන්නේ ඉතිහාසයේ නම රැන්දූ එබඳු සුවිශේෂී ඡායාරූප කිහිපයක් පිළිබඳවය.
1826 දී නිසෙෆොර් නිප්සේ විසින් ප්‍රංශයේදී ගනු ලැබූ මෙම ඡායාරූපය දැනට පවතින පැරණිම ඡායාරූපය ලෙස සැලකේ. පැය අටක කාලයක් හිරු එළියට නිරාවරණයකොට තබා සකසා ගනු ලැබූ මෙම ඡායාරූපය නූතන ඡායාරූප ශිල්පය භාවිතයට පැමිණීමට පෙර හිරුඑළිය ආධාරයෙන් එනම් හීලියෝග්‍රැෆි ක්‍රමවේදය භාවිතයෙන් ගනු ලැබූවකි.

ගල් කඩන දරුවෝ

1910 දී ඇමෙරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේදී ලුවිස් හයින් විසින් ගනු ලැබූ ගල්අඟුරු කඩන දරුවන්ගේ මෙම ඡායාරූපයද සුවිශේෂී වන්නේ එය ඇමෙරිකාවෙන් ළමා කම්කරු සේවය මුලිනුපුටා දැමීමට හේතුවූ නිසයි. එකල පාෂාණවලින් ගල්අඟුරු කඩා වෙන් කිරීමට ළමුන් සුලබව යොදා ගත්තේ ළමා ශ්‍රමය සූරා කෑමට ලක්කරමිනි.

පැරිස් නුවර සිරි නරඹන හිට්ලර්

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නට්සි හමුදාව ප්‍රංශයේ පැරිස් නුවර සියතට ගැනීමෙන් පසු සිය ගෘහනිර්මාණ ශිල්පියා වූ ඇල්බට් ස්පියර් සමග එහි විසිතුරු නැරඹීමට ගිය හිට්ලර්ගේ මෙම ඓතිහාසික ඡායාරූපය 1940 ජුනි 23දා ගනු ලැබූවකි. 

විනිට්සාවේ අවසන් යුදෙව්වා

නට්සි සෙබළකුගේ ඡායාරූප ඇල්බමයක තිබි සොයාගත් මෙම ඡායාරූපය නම්කොට තිබුණේද ඉහත නමිනි. 1941 දී යුක්රේනයේ විනිට්සා නුවරදී ගත් මින් නිරූපණය වන්නේ එම ප්‍රදේශයේ සිටි අවසන් යුදෙව්වාය. ඒද ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර ගනු ලැබූවකි. හිට්ලර්ගේ පාලන සමයේදී විනිට්සා නුවර සිටි විසිඅටදහසක් වූ සියලුම යුදෙව්වන් සමූල ඝාතනය කෙරුණු අතර මේ එලෙස ඝාතනයට ලක්වූ අවසන් යුදෙව්වාය.

චේ ගෙවාරාගේ සිරුර

සුප්‍රකට මාර්ක්ස්වාදී විප්ලවවාදියකු වන චේ ගෙවාරා අත්අඩංගුවට ගෙන ඔහු මරා දැමූ බොලිවියානු හමුදාව මෙලෙස ඔහුගේ සිරුර ඡායාරූපයට නැගුවේ මාක්ස්වාදී වීරයා මියගිය බව ඔහුගේ පාක්ෂිකයින්ට සැකයකින් තොරව තහවුරු කිරීමටයි. 1976 දී සිදුවූ චේ ගේ ඝාතනය ලතින් ඇමෙරිකාවේ මෙන්ම සමස්ත තුන්වන ලෝකයේම එකල පැවති විප්ලවීය සමාජවාදී ක්‍රියාවලියට මරු පහරක් වූ අතර මෙම ඡායාරූපයෙන් සිහිපත් කරන්නේ එයයි.

සඳ මත පළමු පා සටහන

1969 ජුලි 20 දා මිනිස් ඉතිහාසයේ අමරණීය වාර්තාවක් පිහිටුවමින් නීල් ආම්ස්ටේ‍රා්න්ග් සඳ මත පළමු වරට පා තැබූ මිනිසා බවට පත්වූ අතර එම පා සටහන මෙලෙස ඡායාරූපයට නැගුවේ බස් ඕල්ඩීර්න් විසිනි. මානව වංශකතාවේ එම අසිරිමත් සිදුවීමට සාක්ෂි දරමින් එම පියසටහන තවත් වසර මිලියන ගණනක් සඳ මත නොමැකී පවතිනු ඇත්තේ එහි පාරිසරික වෙනස්වීම් සිදු නොවන නිසාය තියානමෙන් චතුරස්‍රය

1989 චීනයේ තියානමෙන් චතුරස්‍රයේදී සිදුවූ ශිෂ්‍ය කැරැල්ල නිරූපණය කරන ප්‍රකටම ඡායාරූපය ලෙස සැලකෙන මින් දිස් වන්නේ තමන් ඉදිරියට එන හමුදා රථපෙළ අවහිර කරමින් නොබියව ඒ ඉදිරියේ සිටගෙන සිටින යොවුන් ශිෂ්‍යයෙකි. තමන් ඉදිරියේ වන අනතුරින් දිවි ගලවා ගැනීමට මොහු සමත් වුවත් ඉන්පසුව හටගත් කැරැල්ල මර්දනයට චීන හමුදාව ගත් අනුකම්පා විරහිත උත්සහයේදී චතුරස්‍රය නිර්දෝෂිත්වයේ රුධිරයෙන් නැහැවී ගියේ මිනිස් ඉතිහාසයේ තවත් එක් ඛිෙදවාචකයක් සටහන් කරමිනි.

ගිජුලිහිණියා හා දරුවා

කෙවින් කාටර් විසින් දකුණු සුඩානයේදී ගනු ලැබූ මෙම ඡායාරූපය පසුව ඔහුට පුලිට්යර්  සම්මානය පමණක් නොව මරණයද ගෙනඒමට සමත් වූවකි. කුසගින්නෙන් හාමත්ව සිටින දරුවෙකු ගොදුරු කර ගැනීමේ බලා‍පොරොත්තුවෙන් ඔහු අසල ලැග සිටින ගිජුලිහිණියකු නිරූපණය වන මෙම ඡායාරූපය කාටර්ගේ සිතේ කෙතරම් කැළඹීමක් ඇති කළාදයත් සම්මානය හිමි වීමෙන් පසු ඔහුව සිය දිවි නසා ගැනීමට පෙළඹවීමට තරම් ඒ ප්‍රබල විය. දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට තමන්ට හැකියාව තිබියදීත් එසේ නොකිරීම සම්බන්ධයෙන් කාටර් සිය ජීවිත කාලය පුරාවටම දැඩි සේ පසුතැවිලි වූ අතර ඔහුව සියදිවි නසා ගැනීමට පෙළඹවූයේද එම පසුතැවිල්ලෙන් හටගත් වේදනාවය.

ඔමාරා සැන්ෂෙස්

මෙක්සිකෝවේ නෙවාඩා ඩෙල් රුයිස් ගිනි කන්ද පුපුරා යාමත් සමග විනාශ වූ සිය නිවසේ සුන්බුන්වලට සිරවූ දහතුන් හැවිරිදි ඔමයිරා සැන්ෂෙස්ට දුෂ්කර වූ තෙදිනක කාලයක් සිය ගෙල දක්වා ජලය පිරුණු දියවළක ගත කිරීමට සිදුව තිබිණි. දැඩි වේදනාවක් විඳිමින් සිටි දැරිය ගලවා ගැනීමට සහන සේවකයින් දැරූ උත්සහය අසාර්ථක විය. ඇය මියයාමට පැය කිහිපයකට පෙර  ෆ්‍රෑන්ක් ෆර්නියර් විසින් ගනු ලැබූ මෙම ඡායාරූපය ලොව පුරා සංවේදී සිත් ඇත්තවුන්ගේ නෙත් කවෛණි තෙත් කිරීමට හේතු විය.

2001 නිව්යෝක් ප්‍රහාරය

ඇමෙරිකානු ජාතික ඡායාරූප ශිල්පියකු වන රිචඩ් ඩෘ විසින් මෙම ඡායාරූපය ගනු ලැබුවේ 2001 සැප්තැම්බර් 11දා නිව්යෝක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය අතරතුරේදීයි. ගොඩනැගිල්ලට එල්ලවූ ප්‍රහාරයත් සමග ජීවිතාශාව පරයා නැගුණු බිය හමුවේ ගොඩනැගිල්‍ලේ ඉහළම මහලක සිට පිටතට පනින පුද්ගලයෙකු මින් නිරූපණය වේ.

Tuesday, February 10, 2015

මාධ්‍යවේදී පසන් රාමවික‍්‍රම සොයුරා

පසුගිය 8 වනදා රාති‍්‍රයේ මාතර ප‍්‍රාදේශීය මාධ්‍යවේදී පසන් රාමවික‍්‍රම සොයුරා හදිසියේ මිය ගිය බව මා හට දැනුම් දුන් අවස්ථාවේ හදවතට දැනුණේ සැබෑ පත්තර මිතුරකුගේ කි‍්‍රයාවක් අවසන් වූ දසුන් පෙළකි.

පසන් රාමවික‍්‍රම නම් වූ මාධ්‍ය සොයුරා රට පුරා ඇවිද යමින් සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළා පමණක් නොව ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් අභීතව පෙනී සිටිමින් සිය කැමරාව සිය කටහඬ අවදි කරමින් බලධාරීන්ට සිය ශක්තිය පෙන්නුම් කළ සගයෙකි. පසන්ගේ වියෝව දරාගැනීමට තරම් ශක්තියක් ඒ අවස්ථාවේ නොමැති වුවත් සිහියට නැගුනේ පසන්ගේ කි‍්‍රයා කලාපයයි.
‘ලක්බිම’ පුවත්පතින් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ පසන් ඉතා කෙටි කලක් තුළ මාතර නිල්වලා ග`ග මෙන් ප‍්‍රසිද්ධියකට පත්විය. පසන්ගේ මාධ්‍ය ජීවිතය ද නිල්වලා ග`ග මෙන්ය. මතුපිටින් නිල්වලා ග`ග ඉතා  මනරම්ය. එහෙත් පතුලෙන් එය ඉතා සැඩය. පසන් ද සිය මාධ්‍ය කටයුතු ඉටු කළේ ජනතාවාදීව සිනා මුසු මුහුණින්ය. එහෙත් ඔහුගේ පෑන සහ කැමරාව නිල්වලා ගං පතුල වැනිය.

මම පසන්ගේ මාධ්‍ය ජීවිතයේ බොහෝ දෙනා නොදුටු එහෙත් මාධ්‍යවේදින් පමණක් දුටු අපූර්වත්වයක් දුටුවෙමි. එනම් දිවයිනේ කොහේ හෝ තම ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකුට කරදරයක් සිදුවුවහොත් මුලින්ම ඇමතුම ලැබෙන්නේ පසන්ගෙනි. එහෙත් පසන්ගේ වියෝව දැනුම් දෙන්නට මාධ්‍යවේදියකු සිටියේ නැත. පසන් කැමරාව කරේ දමාගෙන, සටහන් පොත තුරුළුකරගෙන, බෝක්කුවක් මත සිහිසුන්ව වැටී සිටිය දී පසන් ගැන පොලිසියට කීවේ, පසන්ට ආදරය කළ මාතර සාමාන්‍ය මිනිසෙකි. එමෙන්ම ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මොර දීමට පසන් දෙවතාවක් සිතුවේ නැත. පසුගිය කාලසීමාවේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එල්ල වූ මැර තර්ජනවලට එරෙහිව මාතර පසන් කොළඹට, බදුල්ලට, ගම්පොළට, කුරුණෑගලට, සහ හම්බන්තොටට පැමිණ කි‍්‍රයාශීලිව කටයුතු කළ අයුරු අප මාධ්‍යවේදින්ගේ සදා මතකයේ රැඳෙනු ඇත.

පසන් අවසන්වරට ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග ගත කළේ, පසුගිය මාසයේ 26,27 සහ 28 දිනවලදී කොළඹදීය. ඒ පුවත්පත් මණ්ඩලයෙන් සංවිධානය කළ සාදාචාරාත්මක මාධ්‍ය භාවිතය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදීය. මෙදින පසන් වෙනදා මෙන් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් හෝ ඉල්ලීම් පිළිබඳ කිසිවක් කථා කළේ නැත. ඔහු කීවේ, ”සාදාචාර සම්පන්න මාධ්‍ය කලාවක් ඇති කිරීම සඳහා ඉදිරි කාලයේ තමන් කටයුතු කරන බවයි.” එමෙන්ම, මේ දින කිහිපයේ පසන්ගේ එකම සිහිනය වූයේ ඔහුගේ කැමරාවෙන් අනුන්ගේ ඡුායාරූප ගත් නිසා තමන්ගේ ඡුායාරූප ගොන්නක් ලබා ගැනීමට අවශ්‍ය බවයි. ඒ සඳහා ඔහුගේ කැමරාව මටත්, මොරටුවේ රේඛාටත්, හම්බන්තොට රාහුල්ටත්, අනුරාධපුර මනුලටත්, බදුල්ලේ පාලිතටත්, කුරුවිට අජිත් ලාල්ටත්, කල්පිටියේ පත්මටත් විටෙන් විට ලබා දී විවිධ ඉරියව්වලින් ඡුායාරූපවලට පසන් පෙනී සිටියේය. ඇතැම් විට ඒ පසන්ගේ අවසාන ඡුායාරූප ලබා ගැනීම බව ඔහු හෝ අප නොදැන සිටියේය.
පසන් නිතරම කිව්වේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ දෙන ආර්ථික ගැටලූව පිිළිබඳවයි. ”මචං, අපිට භාර දෙන වැඬේ අපි හරියට ඉටු කරනවා. ඒ සඳහා අපිට ගෙවීම ප‍්‍රමාණවත් නෑ. අපි ඒකට අපේ ආයතන සමග ගැටුම්වලට යන්න හොඳ නෑ. මාධ්‍ය කටයුතු කරන ගමන් අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න කුමන හෝ සේවාවක් කළ යුතුයි. එහෙම නැති වුණොත් මචං, අපි මැරිලා ගියොත් අපේ ගැහැනු දරුවන්ට යන එන මං නැති වෙයි.

මචං. මේ ප‍්‍රසිද්ධිය තියෙන්නේ, අපි මැරිලා හත් දවසේ දානේ දෙනකන් විතරයි.” පසුගිය 27 වැනි දින කොළඹ සිටි හෝටලයේ 109 වන කාමරයේ ඔහු හා මා සිටිය දී රාත‍්‍රී 12.30ට පමණ මේ වදන් පෙළ පසන් මා සමග කිව්වේ, හැ`ගීම්බරවය. ආදරණීය පසන් ඔබ සත් දිනකට පමණක් නොවූ සදාකල් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ හදවත් තුළ ජීවත් වනු නොඅනුමානය.
සැබෑ පත්තරකාරයකු නොව සැබෑ පත්තර මහතකු බවට පත් වූ නිරහංකාරකම සමාජයට පෙන් වූ ආදරණිය සහෘදයාණෙනි, අපට  ඔබගේ වියෝව සදා අමරනීයය. පසන් ඔබට නිවන් සුව.

මේ ඡායාරූපයේ සිටින්නේ ඊයේ අප අතරින් සමුගත් පසන් රාමවික්‍රම. ප්‍රවෘත්තිමය අවස්ථා ක්ෂණයකින් ග්‍රහණය කරගැනීමට ඔහුගේ තෙවැනි ඇස නිබඳව සමත් වුණා. ඒත් ඊයේ මාතර ප්‍රදේශයේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ හමුවකදී පසන්ගේ ක්‍රියාකාරීත්වය දක්නට ලැබුණේ ඡායාරූපයේ පෙනෙන ආකාරයට නිද්‍රාශිලීවයි.
මෙම ඡායාරූපය ලබාගෙන තිබුණේ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාගේ මාධ්‍ය ඒකකය විසින්. එය මා වෙත ලබාදුන්නේ මාගේ සොයුරු ලක්මාල් ගලප්පත්ති. ඔහු පවසන ආකාරයට පසන් මෙම හමුව වාර්තා කිරීමට පවා පැමිණ සිටින්නට ඇත්තේ තම ශරීර අභ්‍යන්තරයේ ඇති වේදනාකාරී තත්වයන්ද සැලකිල්ලට නොගෙන විය යුතු බවයි. සමහර විට පසන් යම් හෘද රෝගී තත්වයක් යටතේ සිටින්නට ඇති. එය එසේනම් මේ දැක්වෙන්නේ පළමු හෘද සංකූලතා පහර ලත් අවස්ථාව විය හැකියි. තමාට දැනෙන අපහසුතාවය පිළිබඳ සැලකිල්ල යොමුකර වෛද්‍යවරයෙකු වෙත යෑම ඔහු කළ යුතුව තිබුණත්, ඔහු ප්‍රමුඛත්වය දී තිබෙන්නේ තම රාජකාරියටයි.

කෙසේ වෙතත් මේ... පසන් ජීවමානව සිටි අවසන් ඡායාරූපයයි.

Monday, February 9, 2015

පාරිභෝගිකයින් දැනුම්වත් කිරීම සඳහා

අයවැයෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා නොදෙන වෙළෙඳසල් හිමියන් සහ බස් රථ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ඇතුළු සංගම් පහක් එක්ව දුරකථන අංක පහක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව අඩු කරන ලද මිල ගණන්වලට අනුකූලව එම භාණ්ඩ හා සේවාවන් නොලැබේ නම් ඒ සම්බන්ධයෙන් මෙම දුරකථන අංකවලට ඕනෑම මොහොතක තොරතුරු ලබාදිය හැකි බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවැසීය. 071028912, 0788714926, 0777205131, 0773995943, 0717672807 යන අංක මේ සඳහා විවෘතව ඇත.
ලැබෙන පැමිණිලිවලට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒවා ලබාගත් සැනින් රජයේ ඒ ඒ බලධාරීන්ට යොමු කරන බවද හෙතෙම කීය.
සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය, දරුවන්ට හෙටක් ජාතික ව්‍යාපාරය, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, ශ්‍රී ලාංකික එකමුතුව සහ සමස්ත ලංකා මගී ප්‍රවාහන සේවා සංගමය යන සංවිධාන එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.
භාණ්ඩ හා සේවාවන්වල මිල අඩු කිරීමේ වාසිය මේ වන විට බොහෝ පාරිභෝගිකයන්ට නොලැබෙන බවත්, ඇතැම් ප්‍රදේශවල පාන්පිටි හිඟයක්, ගෑස් හිඟයක් ව්‍යාජ ලෙස මවා පා ඇති බවත්, ඔහු පෙන්වා දුන්නේය. එබැවින් සිය සංගම්වල ක්‍රියාමාර්ගයට අමතරව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් රජය මගින්  ද සැකසිය යුතුව ඇති බවත් අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

Friday, February 6, 2015

ජීවිතයට අර්ථයක් එකතු කර ගන්න උත්සාහ කරන්න

 

 

 

ඉන්දියාව පසුගිය විසිහය වැනිදා සිය ජනරජ දිනය මහත් ඉහළින් සමරනු ලැබිය. මෙම විශේෂ අවස්ථාවට සහභාගි වූ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ලෝක බලවතා ලෙස සලකන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමාය. ඇමෙරිකානු ජනපති වරයෙකු ඉන්දියාවේ ජනරජ දිනය සැමරීම සඳහා ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි.
ඉන්දියාව යනු සාමාන්‍යයෙන් කාන්තාවන් අඩු සැලකුම් ලබන රටක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති රටකි. ලොව වැඩිම කාන්තා හිංසන සිදුවන්නේත්, ලොව වැඩිම කාන්තාවන් පිරිසක් අවිවාහකවම වියපත් වන්නේත් ඉන්දියාවේ බව, එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ ඔහු බලයට පත් වූ අවස්ථාවේ ජාතිය අමතා සිදු කළ මුල්ම කතාවේදීය. ඊට අමතරව වැඩිහිටි පිරිමින් කුඩා දැරියන් හා  දරුවන් සේම වැඩිහිටි කාන්තාවන් විසින් දරුවන් අපයෝජනයට ලක් කිරීම අතින් ද ඉන්දියාව ප්‍රමුඛ ස්ථානයක පසුවේ. ඒ සියල්ලට අමතරව දෑවැදි ප්‍රශ්නය හේතුවෙන් විවාහ වන්නට නොහැකිව ළතවෙන තරුණියෝද ඉන්දියාවේ ඕනෑ තරම් සිටිති.
මේ සියලු කාරණා ඒ ආකාරයෙන් පෙළ ගැසෙද්දී පසුගිය දින ඉන්දියාවට පැමිණි ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමා වෙනුවෙන් සිදු කරන ආරක්ෂක උත්තමාචාරය මෙහෙයවනු ලැබුවේද, හමුදා ගෞරව සහිතව ඇමෙරිකානු ජනපතිවරයා පිළිගැනීමේ ආචාර පෙළපාළිය මෙහෙයවනු ලැබුවේද කාන්තාවක විසිනි. 

ඇය නමින් පූජා තාකූර්ය. මේ වන විට වින්ග් කමාන්ඩර් තනතුරක් දරන ඇය ඉන්දියාවේ මහාරාෂ්ටප්‍රදේශයේ උපන්නියකි. මෙම විශේෂ අවස්ථාවේ ඇය විසින් සිදු කරන්නට නියම වූ කර්තව්‍යය නිසා මේ වනවිට ඇය ඉන්දියාව තුළ පමණක් නොව සමස්ත ලෝකයේම අවධානයට ලක් වී සිටී. මේ නිසාම නිව්දිල්ලි ටෙලිවිෂන් නොහොත් එන්.ඩී.ටී.වී.
ආයතනය ඇය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක්ද සිදු කර තිබිණි.
ඇමෙරිකානු ජනපතිවරයා වෙත ආරක්ෂක උත්තමාචාර පිරිනැමීමේ අවස්ථාව සඳහා හමුදා නිලධාරීන් සිව් දෙනෙකු සහ නිලධාරිනියන් තිදෙනෙකු තෝරාගෙන තිබිණි. නමුත් අවස්ථාව හිමි වන්නේ මෙම නිලධාරීන්ගෙන් එක් අයෙකුට පමණක් වීම නිසා සියලු දෙනා සතියකට පෙර විශේෂ පුහුණුවකට සහභාගි කර තිබිණි. පුහුණුව අවසානයේ මෙම අවස්ථාවට සහභාගි විය යුත්තේ කුමන නිලධාරියාද යන්න පිළිබඳව නිවේදනය කරනු ලැබුවේ උත්සවයට දින දෙකක් තිබියදීය. නමුත් ඇය පවසන්නේ තමන් හමුදාවට බැඳී වසර 14ක කාලයක් ගත වී ඇති නිසාත්, තමන් ඇතුළු අනිකුත් නිලධාරින් රාජ්‍ය නායකයන් පිළිගැනීමේ අවස්ථාවලට සහභාගි වී ඇති නිසාත්, හමුදා නිලධාරීන් සෑමවිටම රාජ්‍ය නායකයන් පිළිගැනීම සඳහා සූදානමින් සිටින නිසාත් මෙම ජනරජ දිනය සඳහා විශේෂ සූදානමක් අවශ්‍ය නොවූ බවය.
නමුත් අනිකුත් රාජ්‍ය නායකයන්ට වඩා මෙවර ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ පුද්ගලයා සුවිශේෂී පුද්ගලයෙකු වීමත්, එවැනි පුද්ගලයකු වෙත උත්තමාචාර පුද කිරීමේ අවස්ථාව තමන්ට ලැබිමත් ගැන තමන්ට හැඟෙන ආකාරය පැහැදිලි කරන ලෙස එන්.ඩී.ටී.වී. මාධ්‍යවේදියා වින්ග් කමාන්ඩර්වරියට කියා තිබිණි. එවිට ඇය පැවසුවේ නිල ඇඳුම ඇද රාජකාරියේ නිරත වී සිටින විට සෑම රටකම රාජ්‍ය නායකයකු තමන්ට සුවිශේෂී පුද්ගලයන් බවත් ඕනෑම රටක රාජ්‍ය නායකයකු වෙත තමන් විසින් දක්වන උත්තමාචාර එක හා සමාන බවත්ය. නමුත් මෙම නිල ඇඳුම ඉවත් කර සාමාන්‍ය ඇඳුමින් සාමාන්‍ය කාන්තාවක වශයෙන් කතා කළහොත් ඇමෙරිකානු ජනපතිවරයාට උත්තමාචාර දක්වන්නට ලැබිම ගැන තමන්  ඉමහත් ආඩම්බරයට පත් වන බවත් ඇය කියා සිටියාය. 


එසේම ඇය මහත් අපහසුතාවට පත් වූයේ බැරක් ඔබාමා ජනපතිවරයාට උත්තමාචාර දැක්විය යුත්තේ තමන් බව ප්‍රකාශයට පත් කළ මොහොතේ නොව, මෙම අවස්ථාව මුළු ලෝකය පුරාම සජීවී ලෙස විසිරුවා හරිනු ලබන බව දැනගත් මොහොතේ බව ඇය වැඩි දුරටත් කියා තිබිණි. ඒ මන්ද යන්න මාධ්‍යවේදියා ඇසූ විට ඇය පවසා තිබුණේ “එකම වෙලාවක මුළු ලෝකෙම මං දිහා බලාගෙන ඉද්දී මම ඒක කොහොම ඉවසන්නද ?” යනුවෙනි. කෙසේ වුවද ඇය සිය යුතුකම අකුරටම ඉටු කර තිබුණේ මුළු මහත් ඉන්දියානු කාන්තා පරපුරම මහත් අභිමානයට පත් කරමිනි.
අවසන් වශයෙන් ඇය මාධ්‍යවේදියාට අනාගත ඉන්දියානු කාන්තාව ගැනද යම් ඉඟියක් ලබාදී තිබුණේ මෙසේය.
“මම හමුදාවට එක් වනවිට මගේ පියා ඔළුවෙ අත ගසා ගත්තා. කිසිම පිරිමියෙක් හමුදා නිලධාරිනියක විවාහ කර ගන්න කැමති නැති වේවි කියා බියට පත් වුණා. මගේ අනාගතය ගැන බය වුණා. නමුත් මම එදා මගේ අනාගතය දැක්කේ හරියට වීදුරුවකින් එහා පැත්ත දකිනවා වගේ. ඉන්දියානු කාන්තාවන් තවදුරටත් ගේ මුල්‍ලේ කාලය ගත කළ යුතුයි කියලා මම හිතන්නේ නෑ. ඉන්දීය කතුන් ලෝකයේ සෙසු කතුන් අබිබවා පෙරමුණට පැමිණිය යුතුයි.  ඔවුන් පිරිමින්ට වඩා ශක්තිමත්, සිරුරෙන් ‍නෙවෙයි, මනැසින්. ඒ නිසා මැරෙන්න කලින් ජීවිතයට අර්ථයක් එකතු කර ගන්න උත්සාහ කරන්න” යනුවෙනි.