Sunday, March 22, 2015

ධාර්මිකව උපයාගත් ධනයෙන් පී‍්‍රතිමත් අවුරුද්දක්

ධාර්මිකව උපයාගත් ධනයෙන් පී‍්‍රතිමත් අවුරුද්දක්


බිඳුණු නෑදෑකම් යළිත් තහවුරු කරන, මවුපිය සෙනෙහස, හිතවත්කම්, බැඳීම් වැඩි දියුණු කරන සිංහල අලුත් අවුරුද්ද අදයි. යහපත් අර්ථ රැසක් පවුලට, ගමට, රටට දායාද කරමින් එළඹි මේ නව වසර බෞද්ධ ඔබට ඉතාමත් සුවිශේෂී ය. මවුපියන් වෙතින්, වැඩිහිටියන්ගෙන් ඔබ පෙරදා ලද අත්දැකීම්, වටිනාකම් දූ දරුවන්ට, අනාගතයට දායාද කළ හැකි වන්නේ ඔබට පමණක් වන බැවිනි.

බෞද්ධාගමින් පෝෂණය වූ අපේ උදාර සංස්කෘතියට ඇත්තේ අවුරුදු දෙසීයක තුන්සියයක ඉතිහාසයක් නොවේ. එය ඉතා දිගු ඉතිහාසයකි. අවුරුදු දහස් ගණනක සිට ආරක්‍ෂා කර ගත් ඒ සාරධර්ම හා සිරිත් විරිත් ගැන අපේ දරුවන්ට කියා දිය යුතු වන්නේ, ආදර්ශ දිය යුතු වන්නේ අප විසිනි.

සරල දිවි පෙවෙතක් ගෙවූ අපේ මුතුන් මිත්තෝ වගකීම් අකුරට ඉටු කළහ. ඒ සිරිත් විරිත්, වටිනාකම් අපේ සමාජයෙන් ටිකෙන් ටික දුරස් වුණේ විවෘත ආර්ථිකයේ ආගමනය නිසාය. එලෙස ආගමික, සංස්කෘතික වටිනාකම්වල පහළ යාමේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිමු. සමහර දරුවන්ට තම වයෝවෘද්ධ මවුපියන් අමතක වීමේ සිට ඇතැම් මවුපියන්ට තමන්ගේ ලෙයින් බිහි කළ දරුවන් එපාවීමේ සිට මේ සමාජයේ සිදුවන අපරාධ, මංකොල්ලකෑම්, වංචා දූෂණ හා මිනී මැරුම් ආදී වූ නොපනත්කම් වර්ධනය වූයේ ඒ සාරධර්ම සමාජයෙන් ගිලිහී යාම නිසා ය.

මේ නිසා නව වසර උදාවත් සමඟ අප වෙතින් ගිලිහී ගිය වටිනාකම් නැවත එක්තැන් කර ගන්නට, තමන් ගේ ගෘහයේ, ගමේ, රටේ අලුත් පිබිදීමක් ඇති කරන්නට අපි කැප විය යුතුවෙමු. ඒ එළඹුම, නව පිබිදීම වැඩිහිටියන් ගේ මෙන් ම කුඩා දරුවන්ගේ ද ජීවිතයේ නව ඇරැඹුමක් සනිටුහන් කරනු ඇත.

ගොවිතැනින් ස්වයංපෝෂිත වූ අපේ අතීත මුතුන් මිත්තන් සිංහල අවුරුද්ද උදාවත් සමඟ තමන් ලද අස්වැන්නේ මුල්කොටස දෙවියන්ට පූජා කළේ අලුත් අවුරුද්ද මුල් කරගනිමිනි. ඒ ස්තුති කිරීමේ චාරිත්‍රයක් ලෙසිනි. වර්තමානයේ ඊට ඔබ්බට ගිය විශේෂත්වයක් නව අවුරුදු උදාවත් සමඟ දැක ගත හැකිය. එදා අම්මා, තාත්තා, දරු මුනුපුරන් ආදී මේ සියලු දෙනාගෙන් ම සැදුම් ලත් පවුල අද වන විට විසිරී ගොස් තිබේ. රැකියාව පිණිස දුරබැහැර යාම මෙන් ම විවාහ වී පවුලෙන් දුරස් වීම ද වත්මන් හි සෑම ගෘහයකටම පාහේ පොදු අත්දැකීමකි. එසේ විසිරී ගිය සාමාජිකයන් නව අවුරුද්දේ එකම ගෘහයකට එක්රැස් වීම ඉතාමත් සුවිශේෂීය.

පීතෘ මූලික අපේ සමාජයේ තාත්තා ගේ අතින්, අම්මා ගේ අතින් බත් පිඬක් අනුභව කිරීමෙන්, ඔවුන්ට බුලත් හුරුළු, තෑගි බෝග දී දෙපා නැමදීමෙන් දරුවෝ සැනසීමක් ලබති. තමන් ගේ දෙපා මුල වැඳ වැටෙන දරුවන් කෙරෙහි වූ අප්‍රමාණ ආදරයෙන් මවුපියෝ ද ආශිර්වාද කරති. සහෝදර සහෝදරියන් අතර ද එකමුතුකම වැඩි දියුණු වන අතර මේ ඇරඹුම නව අවුරුද්දට පමණක් නොව මුළු ජීවිතයටම ආශිර්වාදයක් වන්නේ ය. තමන් දුක් මහන්සියෙන් උපයා ගත් දෙයින් කොටසක් මවුපියන්ට, දරුවන්ට වෙන් කිරීම තුළ පවුලේ සමඟිය මෙන් ම ස්ථාවර බව ද ගොඩනැඟේ. ගෘහයේ ශක්තිමත් බව නිසා ගමද, ඒ නිසා ම නගරය ද, රට ද ශක්තිමත් වේ.

මේ නිසා සිංහල අලුත් අවුරුද්ද වටිනා සංස්තෘතික පදනමක් ඇති ජීවිතයට අපූරු අත්දැකීම් ලබාදෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුනා ගැනීම යහපත් ය. බුදු දහමේ ඉගැන්වෙන මවුපිය උපස්ථානය, ඥාති සංග්‍රහ, ආගන්තුක සත්කාරය මේ කාල සීමාවේ උපරිම වශයෙන් ක්‍රියාත්මක වීම නිසා එකිනෙකා අතර සම්බන්ධය තහවුරු වීමෙන් පුද්ගල මෙන් ම පුද්ගලාන්තර අභිවෘද්ධිය උදාවේ. මෙලොව ජීවිතය මෙන් ම පරලොව ද සුඛිත මුදිත වේ.

මවුපිය, ගුරුවර, වැඩිහිටියන් මෙන් ම තෙරුවන් ඉදිරියේ දණ නමා හිස නමා වැඳ නමස්කාර කිරීමෙන්, පුද පූජා කිරීමෙන් ලබන්නා වූ ආශිර්වාදය වසර පුරා ම නිරෝගී සම්පත වර්ධනය වීමට මහෝපකාරී වේ.

බුදු දහමින් සුපෝෂිත වූ සිංහල සංස්කෘතියේ බෙදා හදා ගැනීම උතුම් ගුණාංගයක් කොට සැලසේ. දානය යන වචනය දෛනිකව, නිරන්තරයෙන් ම සෑම ක්‍රියාවක දී ම පාහේ අසන්නට ලැබෙන අතර අලුත් අවුරුදු සමයේ පූජාව, දානය සංග්‍රහය, පරිත්‍යාගය යන වචනවලින් ප්‍රකාශ වන දීමනා මහා සංඝරත්නය, මවුපිය දූ දරුවන්, ඥාති හිත මිතුරන්, අසල්වාසීන් හා දුගී මගී යාචකාදීන් උදෙසා ක්‍රියාත්මක වේ. මේ නිසා සිංහල හින්දු අලුත් අවුරුද්ද ලොකු කුඩා දුප්පත් පොහොසත් සියල්ලන්ටම එක හා සමාන වන්නේ ය. පී‍්‍රතිය සතුට උදා කරන්නේ ය. ඒ හැඟීම දරුවන්ට දැනෙන ලෙස තම හැසිරීම් වඩාත් හොඳින් හසුරුවා ගන්නට වැඩිහිටියන් ඇප කැප විය යුතුය.

ගිහියකුට ජීවිතයේ සතුට පී‍්‍රතිය තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්හ.

’සංතුට්ඨි පරමං ධනං’ ලෙසින් දැක්වූයේ එයයි. දරුවන්ට, පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ඒ සතුට උදාකර දීමේ වැඩි වගකීම මවටය. ගිහි ජීවිතයේ ප්‍රධාන සැප හතරක් පිළිබඳව බුදු දහමේ සඳහන් ය. අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය හා අනවජ්ජ සුඛය ලෙස දක්වා ඇත්තේ ඒ සැප හතරයි.

අත්ථි සුඛය නම් තමන්ට ප්‍රමාණවත් පරිදි ධනය තිබෙන බවට ඇති සතුටයි. භෝග සුඛය නම් ඒ ධනය නිර්ලෝභීව පරිබෝග කරනවා යන හැඟීමෙන් ඇතිවන සතුටයි. අණන සුඛය ලෙසින් හැඳින්වූයේ කිසිවෙකුටත් ණය නැති බවට ඇතිවන සතුටයි. අනවජ්ජ සුඛය නම් තමන් වැරදි ජීවන රටාවකට අනුගත නොවී හෘද සාක්‍ෂියට එකඟව, අවංකව ජීවත්වනවා යන හැඟීම නිසා ඇතිවන සතුටයි. මේ සැප ළඟා කරගත් විට ගිහියාට තම ජීවිතය සතුටින් ගෙවා දැමීම අසීරු වන්නේ නැත. ඒ සඳහා කැපවීම වගේ ම දැඩි අධිෂ්ඨානයත් ඇවැසිය. උදාවූ නව වසරේ දී ඒ සඳහා ඔබට අලුත් ආරම්භයකට මුල පිරිය හැකිය.

විශේෂයෙන් උත්සව අවස්ථාවක දී හැසිරිය යුතු ස්වභාවය ගැන පතිනියකට හොඳ අවබෝධයක් තිබිය යුතුය. ‘ණය වෙලා හරි අවුරුදු දවස සතුටින් ඉන්න ඕනෑ’ යන අදහසින් අසල්වැසියන්ට, හිත මිතුරන්ට ණය තුරුස් වී ඉහළින් අවුරුදු සැමරීම බෞද්ධ ප්‍රතිපත්තිය නොවේ. පමණ දැන වියදම් කරන්නටත්, තමන් ගේ තරමට කටයුතු කරන්නටත් කාන්තාවට මෙන් ම පුරුෂයාට ද හොඳ අවබෝධයක් තිබිය යුතුය. සකසුරුවම දන්නා කාන්තාව සමබරව, තමන් ගේ මෙන් ම දරුවන්ගේත් පවුලේ අනෙකුත් සාමාජිකයන් ගේත් සතුට ආරක්‍ෂා කරගන්නට දනී.

ධන සම්පත් ඉහළින් ඇති අසල්වැසියන්, එසේත් නැතිනම් හිත මිතුරන් අවුරුදු සමරන සැටියෙන් දිළිඳු කාන්තාවකට විය පැහැදම් කළ නොහැකි ය. අනුන් අනුකරණය කරමින් ණය තුරුස් වී හෝ අවුරුදු සමරන්නට ඇය කල්පනා කරනවා නම්, ඒ ගෘහයට කිසි කලෙකත් සතුට සැනසීම හිමි වන්නේ නැත. එවැනි පුද්ගලයන් ප්‍රඥාවෙන් තොර මෝඩ මිනිසුන් බව බෞද්ධ ඉගැන්වීමයි.

පවුලක ආර්ථික ගැටලු ඇතිවීම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් උත්සාහය හා අධිෂ්ඨානය ඇත්නම් ඒ ගැටලු විසඳා ගැනීම අසීරු වන්නේ නැත. මානය, අහංකාරකම, උඩඟු බව දුරු කොට ජීවිතයේ සියලු කාර්යයන් සැලසුමකට අනුව සංවිධානය කිරීම එහිදී වඩාත් ප්‍රයෝජනවත් ය.

පී‍්‍රතිමත් අවුරුද්දක් වීමට නම් තමන් ඒ වෙනුවෙන් විය පැහැදම් කරන ධනය ධාර්මිකව උපයාගත් දේ වීමද අත්‍යවශ්‍යය. දරුවන් සමඟ, ස්වාමි දියණිය සමඟ සැබෑ සතුටක් භුක්ති විඳිය හැකි වන්නේ එවිටය. සොරකමින්, වංචාවෙන්, දූෂණයෙන් තොරව, දහදිය මහන්සියෙන්, ධාර්මිකව උපයාගත් දෙයක් පමණක් භුක්ති විඳිනවා නම් නව වසරේ නිවැරැදි ලෙස පී‍්‍රතිය, සතුට භුක්ති විඳින පුද්ගලයෙක් වීමට ඔබට පුළුවන.

එලෙස ධාර්මිකව හරි හම්බ කරගත් දෙයින්, ණය නොවී ඉතිරි කරගත් මුදලින් දරුවන් සමඟ එක්ව අවුරුද්දේ සතුට සමරන ඔබට ඥාතීන් අතර සුහදත්වය ඇති කර ගැනීම ද ඉතා වැදගත් ය. හිත් අමනාපකම් ඇති වී තිබේ නම් ඒවා දුරු කර ගැනීමට මේ හොඳම අවස්ථාවකි. බුලත් හුරුල්ලක් ගෙන ඥාතීන්ගේ නිවෙසට ගොඩවෙන ඔබ ඔවුන් කිසි විටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. එසේ ඇතිවන බැඳීම ඔබට මෙන් ම ඔවුන්ගේ ජීවිතයට ද මනා ශක්තියක් වනු ඇත.

සිංහල හින්දු අලුත් අවුරුද්ද ආගමික සාමාජීය හා ජාතික උත්සවයක් ද වේ. ගමේ තරුණ කණ්ඩායම්වල සහභාගීත්වයෙන්, විහාරස්ථානයේ, සමිති සමාගම්වල සංවිධානයෙන් පැවැත්වෙන බක්මහ උලෙළ එහි තවත් සුවිශේෂී අවස්ථාවකි. තමන් ගේ ගමේ මෙන් ම අසල්වාසී ගම්වල අය ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව පාරම්පරික ක්‍රීඩා, සමගිය සතුට විනෝදය ගෙන එන විවිධ අංගයන්ගෙන් සමන්විතය. ඒ සියලු දේ ට සහභාගී වන, නරඹන දරුවන් ද සමාජය ගැන, සමාජයේ ජීවත්විය යුතු සැටි ගැන, එකමුතු කමේ අගය ගැන බොහෝ වටිනා ගුරු හරුකම් උගනී. විශේෂයෙන් පොත පතේ අධ්‍යාපනයට ම නැඹුරු වී සිටින දරුවන්ට මේ ජාතික උත්සවය ඉතා වැදගත්ය. තම දරුවන් එවැනි දේට සහභාගි කරවීම, නැරඹීමට අවස්ථාව ලබාදීම වැඩිහිටියන්ගේ වගකීමය.

මේ සියලු දෙයින් සතුටු වන අතර ම මත්පැන් බෝතලයට මුල් තැන දීම ද තවමත් අප සමාජයේ දකින්නට ලැබේ. මත්ද්‍රව්‍ය නිසා විකල් වූ මනසක් ඇතිවන බව ඔබට ඉගැන්විය යුතු නොවේ. දරුවන්ට, තමන් ගේ ආදරණීය බිරියට අපූරු සතුටක් පී‍්‍රතියක් උදා කර ගත හැකි දිනයේ පවා ඔබ මත්පැනින් විකල් වූ සිහි ඇතියෙක් වූයේ නම් ඔබ පිය පදවියට ද නිගා කරන පුද්ගලයෙක් බව අමතක කළ යුතු නොවේ. එය බෞද්ධකමට නොහොබිනා පහත් ක්‍රියාවකි. සාමය සතුට වෙනුවට අසමගිය, අසතුට උදාවන හැසිරීමකි. මේ නිසා තමන් ගේ දරුවන් ඉදිරියේ නිවට පුද්ගලයෙක් නොවී සැබී පියෙක් ලෙස, ආදරණීය අම්මා කෙනෙක් ලෙස ඔබ ගේ යුතුකම් වගකීම් ඉටු කළ හැකි නම් උදා වූ නව වසර ජීවිතයට අසිරිමත් බවක් සතුටක් සැනසීමක් උදාකරන බව අමතක නොකළ යුතුය.

Thursday, March 19, 2015

සමේ පැහැය


‘එයා කළුද ? සුදුද නැත්නම් තලඑළලුද ?’ අපි බොහෝ දෙනකුගේ පැහැය දැන ගැනීම පිණිස එසේ අසමු. එහෙත් එයා ඔය තුනටම නෑ කියා කිසිවකු ඊට පිළිතුරු දුනහොත් ඔබ ඉන් මඳක් විමතියට පත්වනු නියතය.
ලොව විවිධ ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන් බාහිර වශයෙන් එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස් වන ප්‍රධාන ලක්ෂණය සමේ පැහැයයි. සාමාන්‍යයෙන් ලොව පුරා ජීවත්වන පුද්ගලයන්ගේ සමේ පැහැය තද දුඹුරු පැහැයේ සිට සුදට හුරු රෝස පැහැය දක්වා වූ වර්ණ පරාසයක විහිදී පවතී. සමේ පැහැය ප්‍රධාන වශයෙන් ජාන සැකැස්ම අනුව තීරණය වන ලක්ෂණයකි. ඊට අමතරව ජීවත් වන පරිසරය අනුව යම්තාක් දුරකට සමේ පැහැය වෙනස්වීමේ සම්භාවිතාවක්ද තිබේ. සමේ පැහැය තීරණය කිරීම සඳහා සෑම පුද්ගලයෙකුගේම සමෙහි මෙලනින් නම් වර්ණකයක් තිබේ. සමේ තිබිය යුතු මෙලනින් ප්‍රමාණය තීරණය වන්නේ උපතේදීය. එනම් එය ජාන සැකැස්ම අනුව උරුම වන ලක්ෂණයකි.
මෙලනින් යනු අඳුරු පැහැති වර්ණකයකි. මෙලනින් නිපදවෙන්නේ මෙලනොසයිට් නම් වූ ෙසෙල විශේෂය තුළය. මෙලනින් නිසා සූර්යා විසින් නිකුත් කරන අහිතකර කිරණ වර්ග මගින් සිරුරට ඇති කරනු ලබන හානිය අවම කරනු ලබයි. සමේ මෙලනින් ප්‍රමාණය වැඩි වීම නිසා අඳුරු පෙනුම වැඩි වන අතර මෙලනින් ප්‍රමාණය අඩු නම් අඳුරු පෙනුම අඩුවේ. සාමාන්‍යයෙන් සමකය ආසන්නයේ වූ රටවල ජීවත්වන පුද්ගලයන්ගේ සමේ පැහැය වැඩි වශයෙන් අඳුරු පෙනුමක් සහිත බවට පිළිගැනීමක් තිබේ. එනම් අප්‍රිකානු වැසියන්, උතුරු දිග ඕස්ට්‍රේලියාවේ ඇබොර්ජින් වැසියන්, මධ්‍යම සහ දකුණු ඉන්දියානු වැසියන්, දකුණු දිග අරාබිකරයේ වැසියන්, දකුණු ඇමෙරිකාවේ උතුරුදිග සහ මධ්‍යම ප්‍රදේශවල වැසියන් ආදිය අඳුරු පැහැති සමක් සහිත වැසියන් ලෙස සැලකිය හැකිය.
සමකයට එපිටින් ධ්‍රැවාසන්නයේ ජීවත්වන වැසියන්ගේ සම සුදු පැහැති බව මේ අනුව පෙනී යයි. එනම් සුදු පැහැති සමක් ඇත්තවුන් ලෙස උතුරු ඇමෙරිකානු වැසියන්, යුරෝපා වැසියන්, උතුරු දිග ආසියානු වැසියන්, දකුණු දිග ඕස්ට්‍රේලියානු වැසියන්, දකුණු ඇමෙරිකාවේ දකුණු දිග ප්‍රදේශයේ වැසියන් ආදිය හැඳින්විය හැකිය. සමකය ආසන්නයේ වැසියන්ට අඳුරු පැහැති සමක් ලැබිමට හේතුව සූර්යයාගේ සිට එන අහිතකර පාරජම්බුල කිරණවල බලපෑම බව පර්යේෂණවලින් ඔප්පුවී තිබේ. එම පාරජම්බුල කිරණ නිසා සමට සිදුවන හානිය වැළැක්වීම සඳහා සම විසින් ඉහත කී මෙලනින් වර්ණකය වැඩි වැඩියෙන් නිපදවනු ලබයි. ඒ නිසා මෙලනින්වල වර්ණය වූ අඳුරු පැහැය, සම මතුපිට තැන්පත් වේ. නමුත් ධ්‍රැවාසන්නයේ ජීවත්වන පුද්ගලයන්ට දැඩි සූර්යාලෝකයෙන් බලපෑමක් එල්ල වන්නේ නැත. මේ නිසා මෙලනින් වර්ණකය මගින් එතරම් කාර්ය භාරයක් ඉටුවීම අවශ්‍ය නොවේ. එහෙයින් ඔවුන්ගේ සමේ මෙලනින් නිපදවෙන්නේ ඉතා අඩු අගයකිනි. ඔවුන්ගේ සම සුදට හුරු පැහැයක් ගැනීමට හේතු වන්නේ එයයි.
සාමාන්‍යයෙන් අප දන්නා ආකාරයට නම් සමේ පවතින්නේ සුදු පැහැයත් දුඹුරු පැහැයත් හැරුණු විට තලෙළු ලෙස හඳුන්වන සුදු සහ දුඹුරු වර්ණයන්ගේ අන්තර් වර්ණය පමණි. නමුත් ලෝකයේ විවිධ රටවල පුද්ගලයන්ගේ සමේ වර්ණයන් අධ්‍යයනය කිරීමේදී සුදු, තළෙළු සහ දුඹුරු පැහැයට අමතරව තවත් වර්ණ රැසක් පිහිටන බව මානව විද්‍යාඥයන්ගේ අදහසයි. ඒ අනුව පේල් නොහොත් අළු පැහැය, රෝසි පේල් නොහොත් රෝස පැහැය, ටෑන් නොහොත් කහ පැහැය, චොලෝ නොහොත් ලා කොළ පැහැය, කළු පැහැය, මුලාටෝ පැහැය ආදී විවිධ වර්ණ පරාසයන් රැසක් මිනිස් සමට ලැබි තිබේ. මුලාටෝ නමින් හඳුන්වන පැහැය යමෙකුට උරුම වන්නේ කළු ජාතික සහ සුදු ජාතික මව්පියන්ගේ සම්මිශ්‍රණයෙනි. මුලාටෝ යනු මේ පැහැය යැයි අර්ථ දැකිවිය නොහැකිය. නමුත් මුලාටෝ පැහැය සඳහා වන හොඳම උදාහරණය ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමාගේ සමේ පැහැයයි. කෙන්යානු ජාතික කළු සමක් උරුම පියෙකුට දාව ඇමෙරිකානු ජාතික සුදු සම ඇති මවකගෙන් උපන් බැරක් ඔබාමාට ඇත්තේ කළුත් නොව සුදුත් නොවන අමුතුම පැහැයකි. ලෝක ප්‍රකට රෙගේ සංගීත නිර්මාතෘ බොබ් මා‍ලේ ද මුලාටෝ පැහැති සමක් ඇත්තෙකි. ඒ ඔහු සුදු ජාතික පියෙකුට දාව කළු ජාතික මවකගෙන් උපන්න නිසාය.
ඔවුන් සුදු ජාතිකයන් අතර සිටින විට කළු පැහැයටත්, කළු ජාතිකයන් අතර සිටින විට සුදු පැහැයටත් පෙනේ. මුලාටෝ පැහය කළු ද නැතිනම් සුදු ද යන්න නිවැරදිව කිය නොහැකිය. නමුත් එය කහ හෝ, රෝස හෝ, අළු හෝ නොවේ. මුලාටෝ වර්ණයේ විශේෂත්වය වන්නේ ද එයයි. මේ නිසා මුලාටෝ වර්ණය සම්පූර්ණයෙන්ම මාපිය උරුමයෙන් ජාන අනුව තීරණය වන වර්ණයක් ලෙස සැලකිය හැකිය. චොලෝ යනු ලතින් ඇමෙරිකානු සහ ඉන්දියානු වැසියන්ගේ පැහැයන්ගේ සම්මිශ්‍රණයකි. ලෝක යුද්ධ සමයේ සිදු වූ මානව සංක්‍රමණ නිසා පසුකාලීනව ලතින් ඇමෙරිකානු සහ ඉන්දියානු ජාතිකයන් අතර ඇති වූ සබඳතා නිසා බිහි වූ දරුවන්ගේ සහ ළා කොළ පැහැයට හුරු පෙනුමක් ගෙන තිබේ. චොලෝ යනු මෙම වර්ණයයි. වර්තමානයේ චොලෝ පැහැය සහිත වැසියන් වැඩි වශයෙන් ජීවත් වන්නේ මෙක්සිකානු රටවලය.
කෙසේ වුවද ලෝක පිළිගැනීම අනුව ලොව සුන්දරම පැහැයක් ඇති සම පිහිටන්නේ ආසියාතිකයන් වන අපටය. ඉන් ද නේපාල සහ උතුරු ඉන්දියානුවන්ගේ සමේ පැහැය පිළිබඳව ජාන විශ්‍ලේෂණ පර්යේෂණ පවා අතීතයේ සිදු කර තිබේ. අතීත ජනප්‍රවාදවලට අනුව නේපාලයේ ශාක්‍ය වංශිකයන්ගේ සම රන්වන් පැහැයක් ගත් බව අප අසා තිබේ. මේ නිසාම වර්තමානය දක්වා නේපාල වැසියන්ගේ සමේ පැහැය මුළු ලෝකයේම සුන්දරම පැහැය ලෙස හැඳින්වූවාට වරදක් නැත.

Thursday, March 5, 2015

 
 
සීලය සහ පංච ශීලය යන්න කෙටියෙන් 
 
  කය වචනය දෙකේ සංවරය සීලයයි. එය පැහැදිලිව අටුවා වල දක්වා තිබෙනවා. සීලය යනු අනිවාර්යෙන්ම සිත මුල්ව කෙරෙන සංවරයක්. පංචශීලය නැතහොත් පන්සිල් යනු ඉතාම පැරණි ශික්ෂණ දේශනයක්. දීඝ නිකායේ චක්කවත්ති, කූටදන්ත සූත්‍රවල සක්විති ධර්මය ලෙස පංචශීලය දක්වා තිබෙනවා. එය ඉපැරණිව තිබුණු බුදුරජාණන් වහන්සේ අනුමත තළ ශික්ෂණ පාඨමාලාවක්. මෙය ඕනෑම ආගමිකයෙකුට වඩන්න හැකියාව තිබෙනවා. කෙනෙක් බෞද්ධ වන්නේ ත්‍රිවිධ රත්නයේ සරණ යාමෙනුයි. සරණය යනු දැන හැඳින අචල විශ්වාසයට පත් වීමයි. ක්‍රිස්තු ආගමිකයෙකු බෞද්ධයෙකු නොවෙයි. ඒත් ඔහුට පන්සිල් රකින්න පුළුවන්.

බෞද්ධයා හා පන්සිල් අතර ඇත්තේ නොබිදෙන සබැදියාවක් නේද   
බෞද්ධයකු උපාසක වන්නේ තෙරුවන් සරණ යාමෙන් කියා කලින් සිහිපත් කළානේ. ඒ උපාසකයා උපාසක පුංඩරික හෙවත් බෞද්ධ නෙලුම බවට පත්වන්නේ තෙරුවන් සහිතව පන්සිල් සමාදන් වීමෙනුයි. ඒ නිසා සම්භාවනීය බෞද්ධයෙකු වීමට පන්සිල් අත්‍යවශ්‍යයි.

බෞද්ධ දර්ශනයට පන්සිල් අයිතියී නේද
බෞද්ධ දර්ශනයට අයිති නැති කිසිම චාරිත්‍රයක් හෝ වාරිත්‍රයක් බෞද්ධ සමාජයේ නැහැ. බුදු දහමට අනුව සසර දුකට හේතුව සසර ගමනේ බලවේගය තණ්හාවයි. ලෝභ, දෝෂ, මෝහ හෙවත් කෙලෙස් නිසයි සියලු අකුසල් ඇති වෙන්නේ. දුක දුක ඇති වීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය මේ ලෝකයේ යථා තත්ත්වයි. බොහෝ බුදුවරු පහලව අනාදිමත් කාලයක් බුදුදහම පවතිනවා. අපි පිළිගන්නා බෞද්ධ ඉතිහාසයේ දීපංකර පාද මූලයේ සිට බුදුදහමේ චර්යාව තියෙනවා. එක කාලයකට වෙන් කරන්න බැහැ.
අපි නිතර පන්සිල් සමාදන් වෙනවා මොකක්ද මේ පන්සිල්. කෙටියෙන් එය පහදා දුන්නොත්  බෞද්ධයන් විදිහට පන්සිල් පද පහ අපි සියලු දෙනාම හොඳින් දන්නවනේ. “වේරමණී” කියන්නේ වෙන්වීමයි. එනම් කරන්න එපා කියන එකයි. ඒත් මේ ශික්ෂා කරන්න එපා. එපා කියලා කියනවා විතරක් නමෛයි. දීඝ නිකායේ සූත්‍ර ඇතුළු වෙනත් සූත්‍ර දේශනා වල මේ ශික්ෂා පදය විස්තර කරලා තියෙනවා සතුන්ට හිංසා,පීඩා, ජීවිත හරණ ආදියයි එපා කියන්නේ. මෛත්‍රියෙන් යුක්ත විය යුතු බවයි. ප්‍රාණ ඝාතය කියන්නේ සතෙකුගේ ප්‍රාණය නිරුද්ධ කිරීමයි. පාණාතිපාතය කියන්නේ පිරිසිදු බෞද්ධ චින්තනයයි. කෙනෙකුව කෙනෙත්තීම, ගැසීම, අවමන් කිරීම, චරිත ඝාතනය, කායික දඬුවම් දීම සියල්ලෙන්ම වෙන්නේ ප්‍රාණය පහළට දැමීමයි. සතුන් මැරීමෙන් වැළැකීමේ සික්ඛා පදය සමාදන් වෙමි කියලා මෙය සිංහලයට කියනවා. නුදුන් දෙය ගන්න එපා. දුන් දෙය ගන්න. කාමේසු කියන්නේ කාමයෝගී කියන බහු වචනය. කාම යනු චක්ඛු කාම, සෝත කාම, ඝාන කාම, ජීවුහා කාම, කාය කාම, මනෝ කාම, කියන කාම අවස්ථා හයක්. ස්ත්‍රී පුරුෂ අනාචාරය මේ අතර ප්‍රධාන බව පේත වත්ථු වල හා සමහර අපදාන විග්‍රහ වල දැක්වෙනවා. මුසාවාදය යනු බොරු කීමයි. එය අත් හල යුතුයි. ලොව නොරවටන කතා වල යෙදීමත් සීලයයි. එය චාරිත්‍ර සීලයයි. මේ කා‍ලේ මාධ්‍ය වල කතා කරන ඇතැම් දේශපාලනඥයෝ දැක්කම ඔවුන් එක්කෝ මේ සිල්පදය සමාදන් වෙන්න හොඳ නැහැ. නැත්නම් කතා කරන්න හොඳ නැහැ කියලා හිතෙනවා. පමාව හෙවත් ප්‍රමාදයට හේතු වන රා මෙර (පෙරන දේ) හෝ මත්ද්‍රව්‍ය (මජ්ජ) පරිහරණයෙන් වැළැකීම පස්වැන්නයි.
පංචශීලය සමාදන් වුණාට සමාදන් වන්නන් එය කොතරම් දුරට රකිනවාද යන කාරණය ඉතා වැදගත්  ලංකාවේ හුඟාක් පන්සිල් රකිනවා. පන්සිල් තරම් අපේ සමාජයට බද්ධ වෙච්ච වෙනත් චර්යාවක් නැහැ. අපේ සම්භාවනීය සාමාජිකයෝ, වෘත්තිකයෝ, දේශපාලනඥයෝ හික්මෙන්නේ පංචශීලයෙන්. එම නිසා අපි සැම දෙනාම ආදර්ශමත් ලෙස පන්සිල් ආරක්ෂා කරන්නට කටයුතු කළ යුතුයි.

බුදු ඇසින් ආහාර රටාවක්

මූලික මානව අවශ්‍යතාවයන් අතර ආහාරයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඒ බැව් “ඡිගච්ඡා පරමා රෝගා” මෙලොව භයානකම රෝගය බඩගින්නයි යන්නෙන් පැහැදිලිය. මානව සමාජයේ් පමණක්ම නොව සත්ව සමාජයේද එය එසේම බැවිනි. මානවයා ආහාරයෙන් අනෙකුත්, සත්වයන් හා සමාන නොවන්නේ බුද්ධිමය පරිකල්පනය නිසාවෙනි. මුල් ගෝත්‍රික සමාජයන් තුළ ද ආහාරය සම්බන්ධව ඇතිවූ විවිධ හේතු සාධකයන් ශිෂ්ටාචාර බිහිවීම දක්වා ව්‍යාප්තවූ බව අප දන්නා කරුණකි. අප මෙහිදී සාකච්ඡා කරන්නේ වත්මන් ආහාර රටාව කායික මානසික සුවතාවන් පිණිස හේතු වන්නේද? එසේ නම් ඒ සඳහා බෞද්ධාගමික ආකල්පය කවරාකාරදැයි විමසීමකි.


වත්මන් පරිභෝජනවාදී ආර්ථික ප්‍රවාහය තුළ ශ්‍රී ලංකිකයන් ආහාරය පදනම් කොට විවිධ සෞඛ්‍ය අර්බුද රාශියකට මුහුණපා සිටීම කනගාටුදායක තත්ත්වයකි. මෙරට පවත්නා සියලුම මාධ්‍යයන් ද ඒ සඳහා විවිධ සාකච්ඡාවන් පැවැත්වුවද එයින්ම විවිධ ආහාර සම්බන්ධ රස තෘෂ්ණාව ‍පෝෂණය කරනු විනා වෙනකක් නොවේ. එය ගඟට ඉනි කැපීමකට සමාන යැයි සිතේ. ආහාර සම්බන්ධ කවරාකාර මාධ්‍ය දැනුවත්වීම්, දැනුවත් කිරීම් සිදු කළත් ශරීරයේ විවිධ රෝගාබාධයනට එය අඩු කිරීමේ හැකියාවක් ලැබි නොමැති බව සමාජයේ මිනිසුන් දෙස අවධානය යොමු කිරීමෙන් දැකීමට පිළිවන. එපමණක් නොව සතිඅන්ත පුවත්පත්, වාර්තා වැඩසටහන් නැරඹීමෙන් වුව දැනුවත් කරනුයේ යහපත් සෞඛ්‍ය පුරුදු ජීවිතයේ දීර්ඝායු වින්දනයට හේතු වන බවකි. ඒ සඳහා විවිධ විශේෂඥ වෛද්‍යවරුන් ද විද්‍යුත් ගුවන් කාලයන් භාවිත කරමින් මේ සඳහා විවිධ සංකල්ප, අදහස් දක්වනු ලබන බව සියල්ලෝම දකිති, දනිති. නමුත් ආහාර නිසාම ඇතිවන මෙම සෞඛ්‍ය ගැටලු සඳහා විකල්ප යොදා ගැනීමේදී සියල්ලෝම අසමත්ව ඇති බව පැහැදිලිම කරුණකි.

ආහාරය සම්බන්ධව භව දුකට වෙදැදුරු වූ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළින් උගත හැකි දේ බොහෝය. ඒ සියලු දේ තුළින් පවසන්නේ තම ආහාර පාලනය තම සුඛ විහරණය පිණිසම වන  බවක්ම පමණක් නොව දෙලොව සාර්ථක කරගැනීමටද එයම හේතුවන බවකි. සත්හට වන බව දුකට වෙද වූ බුදුරජාණෝ මෙම ආහාර සම්බන්ධයෙන් දේශනා කොට ඇත්තේ එහි ගිජු නොවිය යුතු බවකි. “..... ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා.....” කයෙහි පැවැත්මට, යැපීමට පමණක් හා ශරීර සුවපහසුව සඳහා ආහාර අනුභව කරන ලෙසකි. මුල් බුදු සමයේ බෝධිසත්ව අවදියේදී පටන් ආහාර සම්බන්ධ බෞද්ධ ප්‍රතිපදාව අධ්‍යයනය කළ හැකිවීම විශේෂත්වයකි. බෝධිසත්ව අවදියේදී සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සසර දුක් නිමාකොට බුද්ධත්වය නම් මහාර්ඝ ඵල සාධනය සඳහා යන ගමනේදී දන්දීමෙන්, සිල් රැකීමෙන් (ප්‍රතිපත්තියෙන්), දුෂ්කරක්‍රියා සමයෙන් වුව ද එකී ගැඹුරු යථාර්ථයන් පසක් කරනු සඳහා ආහාරයෙන් ප්‍රවේශසම් වූ බව විමසුම් අක්ෂියක් ඇති බෞද්ධ අබෞද්ධ ජනයාට දැකීමට පිළිවන. බෝධිසත්ව අවදියෙහි බෝසතාණන් තම අරමුණ වෙනුවෙන් “පවත්තඵල භෝගී” වෘක්ෂ මූලයට වැටෙන අහරම අනුභව කළ බවත්, එතුළින් කායික හා මානසික සුවයක් ලද බවත්, උන්වහන්සේම විවිධ අවස්ථාවන්හිදී කළ දේශනාවන්හි දැක්වේ. බුදු  දහම ආහාර සම්බන්ධව දක්වන්නේ කෙබඳු සංකල්පයක් දැයි ආසන්නව හමුවන්නේ පිරුවානා ‍පොත් වහන්සේ තුළ සාමණේර ප්‍රශ්නයේදී දැක්වෙයි. එනම් “ඒක නාම කිං?” ලෝකයේ පළමු ගැටලුව වන්නේ කුමක්දැයි විමසූවිට, “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යන මූලික අදහසෙනි. මෙලොව වසන සියලු සත්වයන්ගේම පැවැත්ම ආහාරයෙන්ම සිදුවන්නේ යැයි දැක්වීමෙන් ආහාර සම්බන්ධ මූලිකම පැහැදිලි කිරීමේදී සිදුකොට ඇත. එමෙන්ම ආහාරය මිනිස් දිවියේ ආයුෂය, වර්ණවත් බව, ශරීර සුවතාව ශරීර ශක්තිය හා අත්‍යවශ්‍යම ප්‍රඥාව මිනිසාට ලබාදීමට සමත්වෙයි.
එපමණක්ද නොව මෙලොව වසනා සත්වයන් ආකාර දෙකකින් ආහාර අනුභවය සිදුකරන ධර්මයේ වේ. එනම් මානසිකව හා භෞතිකවයි. මනසට අරමුණු ආහාර කොට සත්වයෝ  ජීවත් වෙති “මනෝ පුබ්බංගමා ධම්මා....” යැයි දක්වන බුදුරජාණෝ මනසට නිවැරදි ආහාරක්ම  දිය යුතුයැයි දක්වති. එය අතිශයින්ම වැදගත් ක්‍රියාවලියක් බැව් භාවනා සංකල්පය විමසුමෙන්  ගම්‍ය වේ. බුදු දහම අවධාණය කරනුයේ භෞතික ආහාරයටද වඩා මානසික ආහාරය වැදගත් බවකි. එසේම මනසට වැරදි ආහාර රටා සසර දුක් පිණිසම හේතුවන බවත් දේශනා කොට ඇත. සංයුත්ත නිකායේ ආහාර වර්ගයෙහි පළමු ආහාර සූත්‍රයෙහි දක්වන්නේ සිව්වැදෑරුම් ආහාරයකි.
01. කබලිංකාර ආහාරය - (භෞතික ආහාරය)
02. ඵස්ස ආහාරය
03. මනෝසඤ්ච්ෙතනික ආහාරය- (මානසික ආහාරයන්)
04. විඥ්ඥාන ආහාරය
මිනිසාගේ පැවැත්මට භෞතික ආහාරය අත්‍යවශ්‍ය සාධකයක් බව එම සූත්‍රයෙහි මනාව දක්වා ඇත. එම ආහාරයම ක්‍රමිකව සසර පැවැත්ම දක්වා සූත්‍රයෙහි විග්‍රහය වෙයි. නිවැරදි භෞතික ආහාර නිසා සිරුරත්, නිවැරදි මානසික ආහාරය නිසාවෙන් මනසත් සෞඛ්‍ය සම්පන්න වන බව දේශනාවෙහිම තොරතුරු ඇත. නූතන මනෝ විද්‍යාවේ වුව මානසික ව්‍යාධීන් වැළදෙන්නේ වැරදි සහිත භෞතික හා මානසික ආහාර ක්‍රමයන් හේතුකොට ගෙන  බව දැක්වේ. ක්ෂණික ආහාර රටා භෞතිකයත් මනසත් රෝගබාහුල්‍යය දක්වා පිරීහීමකට පත් කරන බව මූලික දේශනා අධ්‍යයනයෙන් පැහැදිලි කරගත හැකිවේ. මෙනිසාම අප ගන්නා ආහාරය දිවියේ සිතනවාටත් වඩා වැදගත් අංශයක් නියෝජනය කරන්නක් බව දැන් දැන් ඉතාම පැහැදිලිවේ.
එපමණක් නොව බෞද්ධයාගේ අත්‍පොත ලෙස සලකනු ලබන “ධම්මපද” කෘතියෙහිද ආහාරය සම්බන්ධයෙන් විවිධ දේශනාවන් උපමාවන් ලෙස ගෙන ගැඹුරු දම්පද විවරණය කර ඇතිබැව් දැකිය හැකිවේ. තමන් අනුභවයට ගන්නා ආහාරයෙහි ප්‍රමාණය ශරීර යාපනය පිණිස සිදුකළ යුත්තක් බව බුදුසමය අවධාරණය කරයි. ඉන් බුදු සමය කරුණු කිහිපයක් අවධාරණය කරයි. බුදුසමය පිළිගන්නා සත්‍යයකි මනුෂ්‍යත්වය අතිශය දුර්ලභ වූවකි යන්න. “කිච්චෝ මනුස්ස පටිලාභෝ...” කිසිසේත්ම බුදුසමය මිනිසා දේව නිර්මිතයක් ලෙස හෝ එවැනි බලවේගයක වහලෙකු ලෙස නොපිළිගනී. එසේ නොපිළිගැනීම හේතුකොටම මිනිසත් බව ලද සත්වයන් ආහාරයෙහි ඇලී ගැලීම බුදුසමය අවධාරණය කරන්නේ ප්‍රාථමික ක්‍රියාවක් ලෙසිනි.
ආහාරෙහි පමණ නොදන්නා ජීවිතයේ සියල්ල අවුලෙන් අවුලට පත් කරගන්නෙක් බව බුදුරජාණන් වහන්සේ දක්වා ඇත. ඒ බව සංයුත්ත නිකායෙහි කෝසල සංයුත්යෙහි දෝනපාක සූත්‍රයෙහි තොරතුරු වෙයි. “දිනක් බුදුරදුන් හමුවට පැමිණි කොසොල් රජු මහත්කොට ආහාර අනුභව කොට දැයි අපහසුවෙන් සුසුම් හෙළිමින් සිටියේය. එබැව් දුටු බුදුරජාණෝ මෙසේ දේශනා කළහ. “හැමකල්හිම සිහිඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ දුක් වේදනාවෝ තුනීවෙත්. අනුභව කළ ආහාර සමෛන් දිරවයි. ඉන් ආයුෂය රැකෙන්නේය.” පසුව මෙය සුදස්සන නම් තරුණයාට කටපාඩම් කොට එය රජු ආහාර අනුභව කරන විට දී සිහිපත් කරන ලෙසත්, ඒ සඳහා කහවණු සියයක් දුන් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රජු ඉතාමත් ශරීර පහසුතාවයක් ලද බවත්, තම අතින්ම ශරීර අවයව ස්පර්ෂ කළහැකි තත්ත්වයට පත්වූ බවත්, එම සූත්‍රයෙහි පැහැදිලි කොට දක්වා ඇත.
වෙළෙඳ‍පොළේ කෙතරම් ක්ෂණික හා රසැති ආහාර පැවැතිය ද, වැඩ බහුල සංකීර්ණ සමාජ ආර්ථික අධිපරිභෝජනවාදී සමාජයේ ව්‍යාධීන්ගෙන් පිරි පුද්ගලයෙකු වනවාට වඩා හැම අතින්ම කට පරිස්සමෙන් දිවි ගෙවීමට හැකිනම්, ඒ පුරුදුතාව දූ දරුවන්ටත් හුරුකළ හැකිනම් නිරෝගී සමාජයක් අපට අනාගතයේ හිමිවනු නො අනුමානය. සැප සතුට උදෙසා ජීවිතයේ සියල්ල මිඩංගු කරන අප, විවිධ බටහිර නම් වලින් එන විවිධ ආහාර නිසා අනුභවයේදී දිව පිනවීමෙන් සිදුවන්නේ ජීවිතයේ හොඳම කාලය වැයකොට දුක්සේ උපයාගත්, සොර සතුරන්ගෙන් රැකගත්, සතුටින් දිවිගෙවීමටත්, යුතුකම් ඉටුකිරීමටත්, ඇති ධනය දුකසේ නැවතත් ලෙඩට දුකට එන්නත් සඳහා වියදම් කිරීම නොවේද? එනිසා සැපසේ දුක් විඳීමට නොව, සැපසේ සැප විඳීමට අද අදම බටහිර අහරෙන් වැළකෙමු. අපේ සිංහල ගැමි සුවඳ දෙන අපේම අහරෙන් පමණ දැන තුටුවෙමු. ඔබ සෑමට “සුඛීදීඝායුකෝ භව.”
 
 
 

සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරවන උතුම් පුර පසළොස්වක ‍පොහොය

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරවන උතුම් පුර පසළොස්වක ‍පොහොය

සම්බුදු සිරිත හා සම්බන්ධ සිදුවීම් රැසකින් ආලෝකවත් වූ මැදින්පුර පසළොස්වක ‍පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරවන උතුම් පුර පසළොස්වක ‍පොහොය දිනයකි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තම පියාණන් ඇතුළු ශාක්‍ය වංශික තම ඥාතීන්ට සද්ධර්මය අවබෝධ කරවීම සඳහා විසි දහසක් මහ රහතුන් සමග රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවර දක්වා වැඩම කිරීමට ගමනාරම්භ කළේ මැදින් පුර පසළොස්වක ‍පොහෝදාය.
සුද්ධෝදන රජු බුද්ධත්වයට පත් තම පුතණුවන් දැකබලා ගැනීමට බලවත් ආශාවෙන් පසුවිය. බුදුරදුන් තම මාලිගාවට වැඩම කරවාගෙන ඒම සඳහා දහස බැගින් වූ පිරිස සමග නව වතාවක් දූත පිරිස් බුදුරදුන් වෙත යැවීය. ඒ සියලු දෙනාම බුදුරදුන් වෙත ගොස් බණ අසා පැවිදි වූ බව සඳහන්වේ. පසුව සිදුහත් කුමරු උපන්දිනම උපත ලද එකල ඉතා මිත්‍රයෙකුව සිටි කාළුදායි නම් ඇමැතියා සමග බුදුරදුන් වැඩමවාගෙන ඒමට දහසක් පිරිස පිටත්කර යැවීය. ඔවුන්ද පැවිදි බවට පත්වූහ. කාළුදායි තෙරුන් බුදුරදුන් සමීපයේදී දිනක් මෙසේ ආරාධනා කර සිටියේය. “බුදුරදුනි ඔබගේ පියතුමා ඔබ වහන්සේ දැක බලා ගැනීමේ බලවත් ආශාවෙන් පසුවෙයි. තුරු ලතාවන්හි මල් පිපුණු, කෙත්වතු සරුසරාවූ මේ සමයේ පියතුමන් ඇතුළු ශාක්‍ය වංශික ඥාතීන්ගේ හිතසුව පිණිස කිඹුල්වත් නුවරට වැඩම කරන සේක්වා”

එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ විසි දහසක් වූ මහ රහතුන් සමග මැදින්පුර ‍පෝ දින කිඹුල්වත බලා ගමන ආරම්භ කළහ.
යොදුන් සැටක් මග ගෙවා කිඹුල්වත් නුවරට වැඩම කළ බුදු පාමොක් මහ සඟ පිළිගැනීමට ශාක්‍ය වංශික ඥාතීහු මගබලා සිටියහ. කුඩා දරුවන් බුදුරදුන්ට මල් දී වන්දනා කළ අතර අධිමානයෙන් යුතු වැඩිහිටි ශාක්‍ය වංශිකයෝ බුදුරදුන්ට වැඳීමට අදිමදි කළහ. එම ශාක්‍ය වංශිකයන්ගේ අධිමානය දුරු කිරීමට බුදුරදුන් එහිදී යමාමහ ප්‍රාතිහාර්ය පෑ බව සඳහන්වේ. එහිදී මහා වැස්සක් ඇදහැලුනු අතර ඒ නිමිති කරගෙන බුදුරදුන් වෙස්සන්තර ජාතක කතාව දේශනා කළේය. ශාක්‍ය වංශික ඥාතීහු එහිදී මානය දුරුකර බුදුරදුන්ට වන්දනා කළ අතර නිගේ‍රා්ධාරාමය නමින් ආරාමයක්ද කරවා පූජා කළහ.
පසුදා උදෑසන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු මහා සංඝරත්නය නුවරපුරා ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩින්නට වූහ. තම පුත්‍ර බුදුරදුන් පිඬු සිඟා  වඩින බව දැනගත් සුද්ධෝදන රජු “අපේ වංශයට මෙතරම් නින්දා කරන්නේ ඇයි ? අපේ වංශයේ කිසිවෙකු මීට පෙර සිඟා කා නැහැ ...” යනාදී වශයෙන් බුදුරදුන්ට දොස් නගන්නට වූ. එවිට බුදුරදුන් පිය රජු අමතා තමන් දැන් ශාක්‍ය වංශයේ නොව බුද්ධ වංශයේ බවත් පිඬු සිඟා යාම බුදුවරුන්ට සිරිතක් බවත් දේශනා කළ සේක. එහිදී බුදුරදුන් දෙසූ ධර්මය අසා රජු සෝවාන් ඵලයට පත්විය. බුදු පාමොක් මහ සඟනට පසුදා දානයට වැඩම කරන ලෙස රජු විසින් ආරාධනා කළේය.
පසුදින දහවල් දානයට වැඩම කළ බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට රජු විසින් දන් පිළිගැන්වීය. බුදුරදුන් විසින් රජ මාලිගයට පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළ සේක. එහිදී සුද්ධෝදන රජු සකෘදාගාමී ඵලයට පත් විය. මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු පිරිස සෝවාන් ඵලයට පත්වූහ. එහිදී බුදුරදුන් තම අගසව් දෙනම ද සමග යශෝධරා දේවියගේ නිවසටද වැඩම කළහ. බුදුසිරි පතුළ පාමුළ කඳුළු සලමින් හඬා වැළපුණු ඇයගේ පතිදම් අගයමින් සඳකිඳුරු ජාතකය දේශනා කළ අතර ඇය එය අසා සෝවාන් ඵලයට පත් වූවාය.
බුදුරජාණන් වහන්සේ විසින් මහා ප්‍රජාපති දේවියගේ පුත් නන්ද කුමරු ද තම පුත් රාහුල කුමරු ද පැවිදි කරවීය. පියගුණ අගයමින් මහා ධර්මපාල ජාතකය දේශනා කොට සුද්ධෝදන රජු අනාගාමී ඵලයට පත් කරවීමට මග සැලසීය. පියරජුගේ ඉල්ලීමක් මත දෙමව්පියන්ගේ අවසර නොමැතිව දරුවන් පැවිදි නොකරන ලෙස විනය නීතියක්ද පැනවීය. එමෙන්ම ආනන්ද, භගු, කිම්බිල, අනුරුද්ධ, දේවදත්ත යන රාජ කුමාරවරු ද උපාලි නම් කපුවා ද පැවිදි කරවා කිඹුල්වත්පුර ගමනින් සිදුකළ ලෝක ශාසනික සේවාව අතිමහත්ය.
සම්බුදු සිරිතෙහි අසිරිමත් සිදුවීම් රැසකින් ආලෝකමත් වූ මේ උතුම් මැදින් පුර ‍පොහෝදා දාන, සීල, භාවනා ආදී පිංකම් තුළින් ඔබේ දිවියත් ආලෝකමත් කර ගන්න.

Wednesday, March 4, 2015

ගෙවත්තට සමනළ රෑන්

අතීතයේ සිරිපා වන්දනාවේ ගොස් දැනට අතුරුදන්ව සිටින සමනලුන් නැවතත් ඔබේ ගෙවත්තට 
 
 
ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා ගිය සමනල රෑන් ගැන කවි, සින්දු, කතාන්දර රැසක් තවමත් අප ජන සමාජයේ තිබේ. නමුත් මීට දශක කීපයකට පෙරාතුව දක්නට ලැබුණු ඒ විශාල සමනල රෑන් අපේ දෑස් මානයෙන් ඈත්ව ගියේ කාලය හා සමගමය. පරිසරයට දේදුනු වර්ණ එකතු කරමින් එහා මෙහා පියඹා යමින් අපගේ සිත්වලට සතුට රැගෙන ආ ඒ අහිංසක සොඳුරු අමුත්තන්ට සිදුවූයේ කුමක්දැයි සොයා බලන්නට පවා අපට කාලයක් නොතිබුණසේය. සමනලුන් මෙතරමකට අප අවට පරිසරයෙන් ඈත් වීමට අපගේම අනිසි ක්‍රියාකාරකම් හේතුවී තිබෙන බව නොකියාම බැරිය. ශීඝ්‍රයෙන් කැලෑබද පරිසරයන් එළිපෙහෙළිවීම සේම අධික ලෙස කෘෂි රසායනිකයන් අප අවට පරිසරයට එකතුවීම සමනලයන්ගේ වදවීමට ප්‍රධාන ලෙසම හේතුවී තිබේ. ශ්‍රී පාද වන්දනාවේ යන බවට සමාජයේ ප්‍රචලිත  සමනල කාණ්ඩයක්ද සිටිති. ශ්‍රීපාද කාලයට මොව්හු වැල නොකැඩී ශ්‍රීපාදය දෙසට පියා සලන බවට අතීතයේ ජන විශ්වාසයක් පැවැතිණි. එහි විද්‍යාත්මක සත්‍යයක් නොමැති වුවද එම ජන විඥානයේ කිසියම් කාව්‍යාත්මක සොඳුරු අර්ථකථනයක් තිබේ. මෙසේ ශ්‍රී පාද වන්දනාවේ යන බවට ප්‍රචලිත වූ සුදු පැහැති Sri Lankan Lesser Albatross (Appias galene) යන සමනලයා පරිසරයෙන් නොපෙනී යාමට හේතුව උන්ගේ ධාරක ශාකය වන වීර ගස් පරිසරයෙන් කපා ඉවත් කිරීම බව පර්යේෂකයෝ හෙළි කරති.
අපට පරිසරයේදී දකින්නට ලැබෙන අලංකාර සිනිඳු පිහාටුවලින් යුතු සුහුඹුල් සමනලයා බිහිවීමට පෙර ඌ බිත්තරයක්, දලඹුවෙක්, කෝෂගත අවස්ථාවන් පසුකර පැමිණිය යුතුය. ඌගේ මේ ජීවන චක්‍රය නිසි ලෙස සම්පූර්ණ කරගැනීමට හිතකර පරිසර තත්ත්වයන් පැවතුනහොත් පමණකි අපට සුහුඹුල් සතෙකු දැකිය හැකි වන්නේ මේ වන විට අවිධිමත් නාගරීකරණය හේතුකරගෙනද මේ සුන්දර සතුන් අපෙන් බොහෝ සේ ඈත්වී ඇති බව පර්යේෂණ මගින් හෙළිව තිබේ. අපගේම අනිසි ක්‍රියාකාරකම් හේතුකර ගෙන අපගෙන් ඈත්ව සිටින එසේම පරිසරයෙන් වදවෙමින් යන මේ සුන්දර සත්ව විශේෂය නැවත අපේ දෑස් මානයට රැගෙන ඒමේ පහසු අවකාශයක් තිබේ. ඒ සඳහා අපට කළ හැකි දේ බොහෝය. සමනලුන් නැවත පරිසරයට එකතු කිරීමෙන් අපට කුමන ප්‍රයෝජනයක්දැයි කෙනෙකු සිතන්නට පිළිවන. නමුත් අපගේ පරිසර පද්ධතියේ යහපත වෙනුවෙන් මේ සොඳුරු කුඩා සතුන් ඉටුකරන මෙහෙය අතිමහත්ය. කෘෂි බෝගවල ඵලදාව වැඩිකිරීමට පරාගණය නිසි පරිදි සම්පූර්ණ වීමට විශාල වැඩකොටසක් සමනලුන්ගෙන් සිදුවෙයි. එසේම පරිසරයේ සමතුලිත බව ආරක්ෂා කරදීමටද මේ සත්ව ප්‍රජාව පරිසරයේ සිටිය යුතුමය. එසේම ඉන් ඔබ්බට ගියහොත් අද මේ පවතින කාර්යබහුල සමාජයේ ඉහළ ගොස් තිබෙන මිනිසුන්ගේ මානසික ආතති තත්ත්වයන් සමනයටද සමනළ ප්‍රජාව උදව්කරගත හැකිය. වෛර්ණ පිහාටු හරඹකරමින් පියාඹා යන මේ සතුන් සිතට ගෙනන සංහිඳියාවේ තරම මිල කළ නොහැකිය. එහි මනෝ වෛද්‍ය විද්‍යාත්මක අගයක් ඇති බව ද පැවසේ.  අප නිවසේ සුරතලුන් ඇති කරන්නේ අපගේ තනිකම කාන්සිය නැතිකර ගැනීමට සේම සිතේ සතුටක් සංහිඳියාවක් ඇතිකර ගැනීමටය. නමුත් ඒ බොහෝ සුරතලුන් ඇතිදැඩි කිරීමට සිදුව තිබෙන්නේ කූඩුකරගෙනය. නමුත් ඉතා නිදහස්ව සැරිසරමින් අපේ ගෙවතුවල සුන්දර බව වැඩිකරන සමනලුන් නිසා සිතට දැනෙන සංහිඳියාව ඉතා ඉහළය.



සමනලුන් ගෙවත්තට ගෙන්වා ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ . ඔබ කළ යුත්තේ, ඒ සඳහා අවශ්‍ය පරිසරය නිසි ලෙස සකස් කිරීම පමණි. ඔබගේ ගෙමිදුල ඉතාම කුඩා එකක් වුවත් එය බාධාවක් නොවේ. කුඩා ‍පෝච්චි කීපයක ඔවුනට අවශ්‍ය කරන ශාක වර්ග කීපයක් වගා කිරීමෙන් එය ඔබට කළ හැකිය. ඔබගේ ගෙවත්තට සමනලුන් කැඳවා ගැනීමට නම් උන් බිත්තර දමන්න තෝරා ගන්නා ශාක වර්ග කීපයක් වගා කරගන්න.

සමනලුන් සෑම ශාකයකම බිත්තර දමන්නේ නැත. ඒ ඒ විශේෂවලටම ආවේණික වූ ශාක වර්ග තිබේ. කිරිඅගුණ, අගුණ, ආත්ත, කුරුඳු, උගුරැස්ස, බෙලි, දෙහි, නාරං, රත්මල්, කරපිංචා, බෙලි, ඔළිඳ, අක්කපාන, ඇත්තෝර, රණවරා, කොටම්බා, මසන් වැනි ශාක වර්ග දෙක තුනක්වත් ඔබේ ගෙවත්තේ සිටුවා ගන්න. ඔබගේ ගෙවත්ත ඉතා කුඩා නම් මේ වර්ගවලින් වඩා උස නොයන ශාක වර්ග කීපයක් ‍පෝච්චිවල සිටුවා ගන්න. දැන් ඔබ උන්ට නවාතැන් සූදානම්කර හමාරය. දැන් උන්ට ආහාර සඳහා අවශ්‍ය පැණි සහිත මල් පිපෙන ශාක කීපයක්ද ගෙවත්තට එක්කර ගන්න. සස්සඳ, අඬනහිරියා, දාස්පෙතියා, රාජ‍පොට්ටු, ගඳපාන, ඩුරැන්තා, ඇහැළ, පින්න, මුස්සැන්ද, නීරමුල්ලිය වැනි ශාකවලට සමනල්ළු විශේෂ ප්‍රියතාවක් දක්වති. එසේම ගෙවත්තේ වැවෙන කුඩා මල් සහිත වල්පැළෑටි සියල්ල ගලවා ඉවත් කරන්න එපා. තණ කොළ සහ වල්පැළ ඉඩ අවශ්‍ය ප්‍රමාණයට ඉවත් කර යම් තරමක් තිබෙන්නට හරින්න. ඒවා අතර තිබෙන තණකොළ ගලවා ඉවත් කරන්න. මේ වල් පැළවල පිපෙන කුඩා මල්වලටද උඳුපියලියවලටද උන් බොහෝ ප්‍රියකරන බව පෙනේ. එසේම ගෙවතු වගාවේදී හෝ මල් වගාවේදී කෘත්‍රිම රසායනික ‍පොහොර භාවිතයෙන් වළකින්න. හැකි තරම් කොම්‍පෝස්ට් භාවිතාවට හුරුවන්න. ඔබ නිවසේ සේම ගෙවත්තට භාවිත කරන රසායනික සංයෝග අඩංගු ද්‍රව්‍ය අවම කර ගන්න. මේවායේ ඇති රසායනික ද්‍රව්‍යවල ඉහළ සාන්ද්‍රණය දරාගත නොහැකිව සමනළ ප්‍රජාව විනාශ වී යා හැකි බව සිහි තබා ගන්න.

 දැනට ද එම හානිය ශීඝ්‍රාකාරයෙන් සිදුවෙමින් තිබේ.  කුඩා දරුවන් සමනලයන් නිරීක්ෂණයට හුරු කරවන්න. උන් හඳුනා ගැනීමට, උන්ගේ චර්යා රටාවන් අධ්‍යයනය කිරීමට ඒ පිළිබඳව සටහන් තබාගැනීමට, ඡායාරූප ලබාගැනීමට අවස්ථා සලසා දෙන්න. එය ඉතා හොඳ විනෝදාංශයකි. එමෙන්ම මොළයේ වැඩීමටද හේතුවකි.  මෙමගින් ඔවුන්ගේ පරිසරය පිළිබඳ දැනුම වැඩිවනවා සේම පරිසරයට ආදරය කිරීමටද හුරුකරවන්නකි. ඔබගේ ගෙවත්තට සමනළ රෑන් පියඹා එනවිට ඔබේ සතුට වගේම ගස්වල ඵලදාවද වැඩිවේවි. මලින්, ඵලින් බර වටාපිටාවක, සමනළ ඇසුරේ ජීවිතයට නිරාමිස සුවයක් සංහිඳියාවක් දැනෙනු නියතය.